දුර්වල ක්‍රීඩා රටාව නිසා ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

2123
Sri Lanka v Zimbabwe 5tyh ODI

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 – 2ක් ලෙස ජය ගැනීමට අද (10) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ඒ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන ත්‍රිවිධ අංශයෙන්ම දිනෙන් දිනම පිරිහෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තම උපන් බිමේදීම පරාජයට පත් කරමිනි.

අවසන් සහ තීරණාත්මක තරගයට පෙර

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන..

පසුගිය තරග කිහිපයේ දී ම ශ්‍රී ලංකා පන්දු යැවීමේ ඇතිවුණු ගැටලු නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සඳහා නවක ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් ඉවත් කොට අත්දැකීම් සපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර සහ අකිල ධනංජය කණ්ඩායමට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායම තරගයට පිවිසියේ තම ජයග්‍රාහී ක්‍රීඩක සංකලනයේ කිසිදු වෙනසක් සිදු නොකරමිනි.

අද සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීමට තීරණය කළ නිසා නැවතත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉහළ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ වගකීම නිතැතින්ම හිමි විය. නමුත් ශ්‍රී ලංකා ඉනිම පුරාවටම දැක ගත හැකි වූයේ පිතිකරුවන් එම වගකීම කිසිදු වග විභාගයකින් තොරව පැහැර හරින ආකාරයයි. නිමාවුණු තරග ද්විත්වයේ දී ම තමන්ට හිසරදයක් බවට පත්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාව මට්ටු කිරීමේ අභිප්‍රායෙන් දඟපන්දු යවන්නෙකුගෙන් පන්දු යැවීම ආරම්භ කිරීමට සිම්බාබ්වේ නායකයා අද කටයුතු කළේය. ඒ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන සිකන්ඩර් රාසා අතට පන්දුව භාර කරමිනි.

වැඩි වේලාවක් ගත වන්නට පෙර නායකයා තමන් කෙරෙහි තැබූ විශ්වාසයට සාධාරණය ඉටු කළ රාසා, කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග තනි ඉලක්කමේ ලකුණුවලට ක්‍රීඩාගාරයට හරවා යවන්නන්ට සමත් විය. ටෙන්ඩායි චටාරාගේ සුරතින් ගිලිහුණු වේග පන්දුවක් නිසා පිට පිටම ශතක දෙකක් වාර්තා කරගෙන සිටි නිරෝෂන් දික්වැල්ලගේ ඉනිම ද අද ලකුණු 3කට සීමා විය. ඉන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක සහ ඇන්ජෙලෝ මැතිව්ස් අතරේ ලකුණු 47ක සබඳතාවයක් ගොඩ නැගුන ද ග්‍රැහැම් ක්‍රීමර්ගේ දඟ කැවුණු පන්දුවක් නිසා ශ්‍රී ලංකා නායකයාගේ ඉනිම ලකුණු 24කට නිමා විය.

පසුගිය තරග කිහිපයේ දී කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කළ ධනුෂ්ක ගුණතිලක අද තම එක්දින දිවියේ සත්වැනි අර්ධ ශතකය ලෙසින් ලකුණු 52ක් රැස් කළේය. ඒ කල්යල් මැන එල්ල කළ හතරේ පහර 5ක් සමඟිනි. කෙසේ වෙතත් වනිඳු හසරංග, නුවන් කුලසේකර වැනි පසුපෙළ පිතිකරුවන්ගෙන් පවා අද ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ දී කිසිදු සහයෝගයක් හිමි නොවීම නිසා තරගය සිම්බාබ්වේ කණ්ඩායමේ පාලනයට නතුවීම වැළැක්වීමට හැකිවූයේ නැත.

ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 200 සීමාවට හෝ ළඟා වීමට උපකාරී වූයේ අසේල ගුණරත්න සහ දුෂ්මන්ත චමීර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 50ක සබඳතාවයයි. ඉතාමත් සංයමයකින් යුතුව තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පිටියේ රැඳී සිටි අසේල අවසන් පන්දුවාර කිහිපයේ දී ප්‍රහාරයට යොමු වෙමින් නොදැවී ලකුණු 59ක් රැස්කර ගත්තේය. ඒ මනරම් හතරේ පහර 4ක් සමඟිනි. නිත්‍ය පිතිකරුවන් අසරණ වුනු තණතීරුවේ සටන්කාමී ලකුණු 18ක් රැස් කිරීමට දුෂ්මන්ත චමීර සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 203කි.

සමස්තයක් වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ පන්දු රැකීම අද ඉතාමත් ඉහළ මට්ටමක තිබූ අතර සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් දැක ගත නොහැකි ආකාරයේ විශිෂ්ට උඩපන්දු රැක ගැනීම් කිහිපයක් ද ඒ අතර දැකිය හැකි විය. එසේම සිම්බාබ්වේ පන්දු යවන්නන් අතර ඉහළින්ම කැපී පෙනුණේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක සිකන්ඩර් රාසාගේ පන්දු යැවීමයි. ඔහු තම පන්දුවාර 10 ලකුණු 21කට කඩුලු 3ක් දවාගෙන නිමා කරද්දී නායක ග්‍රැහැම් ක්‍රීමර් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 204ක පහසු ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 92ක සුපිරි සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය තුල තව තවත් පිටුපසට යවමිනි. දකුණත් පිතිකරු සොලමන් මිරේ අද පන්දු 32කින් වේගවත් ලකුණු 43ක් රැස්කර ගත්තේය. ඒ හතරේ පහර 5ක් සහ අති දැවැන්ත හයේ පහර 2ක් සමඟිනි. මෙම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත්වූ හැමිල්ටන් මැසකඩ්සා අදත් ලකුණු 73ක් රැස් කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට තරගයේ පාලනය ලබා දුන්නේය. ඒ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

ඉන් අනතුරුව කලින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් ක්‍රේග් අර්වයින්, සීන් විලියම්ස් මෙන්ම අද ලකුණු 37ක් රැස් කරගත් ටෙරිසායි මසකන්ඩා පිට පිටම දවා ගනිමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු ගෙන එන්නට 23 හැවිරිදි යොවුන් පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත් විය. එබැවින් එක් අවස්ථාවක සිම්බාබ්වේ ඉනිම දැක්වුනේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලෙසිනි. කෙසේ වෙතත් පන්දුවෙන් ද ඉහළ දක්ෂතා දැක්වූ සිකන්ඩර් රාසා (27*) සහ ග්‍රැහැම් ක්‍රීමර් (11*) තරගය අවසානය දක්වාම නොදැවී සිටිමින් සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් ලබා දීමට සමත් වූහ.

මෙය සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත් ප්‍රථම අවස්ථාව මෙන්ම වසර 16කට පසුව ඔවුන් ටෙස්ට් ක්‍රීඩා කරන රටක් එක්දින තරගාවලියක දී පරාජය කළ ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්වෙයි. තරගයේ වීරයා සම්මානය තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ සිකන්ඩර් රාසා හිමි කර ගනිද්දී තරගාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිදෙන්නට පහර දුන් හැමිල්ටන් මැසකඩ්සා සම්මාන දිනා ගත්තේය. දෙරට අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය ලබන 14 වැනිදා ආර්. ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට  

Sri Lanka - BattingToss: Zimbabwe
Niroshan Dickwellac Moor b Chatara3 (8)
Danushka GunathilakaLBW b Williams52 (86)
Kusal Mendisc Cremer b Raza1 (8)
Upul Tharangab Raza6 (9)
Angelo Mathewsc Masakadza b Cremer24 (47)
Asela GunarathneNot Out59* (81)
Wanindu Hasarangac Cremer b Raza0 (5)
Nuwan Kulasekarab Cremer5 (5)
Akila Dananjayac Musakanda b Waller7 (20)
Dushmantha ChameeraNot Out18* (31)
Lasith Malinga
TotalExtras (28)203/8 (50 overs)
Zimbabwe - BowlingOMRW
Sikandar Raza101213
Tendai Chatara91491
Graeme Cremer101232
Christopher Mpofu60360
Sean Williams100411
Malcolm Waller50211
Zimbabwe - BattingToss: Zimbabwe
Hamilton Masakadzac Kulasekara b Malinga73 (86)
Solomon Mireb Gunaratne43 (32)
Tarisai Musakandac Hasaranga b Dananjaya37 (49)
Craig ErvineLBW b Dananjaya2 (6)
Sean Williamsc Mendis b Dananjaya2 (7)
Sikandar RazaNot Out 27 (27)
Malcolm Wallerc & b Malinga1 (3)
PJ Moorc Mendis b Dananjaya1 (7)
Graeme CremerNot Out11 (13)
Christopher Mpofu
Tendai Chatara
TotalExtras (7)204/7 (38.1 Overs)
Sri Lanka - BowlingOMRW
Lasith Malinga100442
Nuwan Kulasekara30250
Asela Gunaratne40231
Akila Dananjaya101474
Wanindu Hasaranga6.10450
Dushmantha Chameera41160
Danushka Gunathilaka1020