ඇමරිකාවේ පළමු තරගයට Messi සූදානම්

1017

ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සිය නව ක්‍රීඩා සමාජය වන Inter Miami නියෝජනය කරමින් සහභාගී වන පළමු තරගයට අද (20) සහභාගී වන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්‍රංශ පාපන්දු කණ්ඩායමක් වන Cruz Azul සමඟයි.

නමුත් ඔහු සිය මංගල තරගයේ දී සම්පූර්ණ කාලය ක්‍රීඩා නොකරනු ඇති බව සහ තරගයේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන බව ද වාර්තා වෙනවා.

පසුගිය සතියේ දී සුපිරි ක්‍රීඩක Lionel Messi, සිය නව නවාතැන වෙත පැමිණි අතර එහි පැවති විශේෂ උත්සවයක දී ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් හට ඔහුව හඳුන්වා දීමට කටයුතු කළා.

ඉතා කාර්ය බහුල කාලසීමාවකින් පසු Messi සිය පවුලේ අය සමඟ නිවාඩුවක් ගත කිරීමෙන් අනතුරුව සිය පුහුණුවීම් ආරම්භ කර ඇති අතර මෙවර තරගාවලියේ ආරම්භක තරගය MLS සහ  Liga MX කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

Inter Miami කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන හිටපු සුපිරි ක්‍රීඩක David Beckham විසින් Messi මෙම තරග ක්‍රීඩා කළ යුතු බව අදහස් දක්වා තිබුණාත් කණ්ඩායම් පුහුණුකරු වන Gerardo ප්‍රකාශ කර තිබුණේ ඔහු තරග ආරම්භයේ දී අතිරේක ක්‍රීඩකයින් අතර සිටින බවයි.

නමුත් පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී Gerardo ප්‍රකාශ කර තිබුණේ, පුහුණුවීම් කටයුතුවලින් පසුව Messi තරගය ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

මීට අමතරව Messiගේ පෙර කණ්ඩායම් සඟයෙකු වූ Sergio Busquets ද ප්‍රකාශ කර තිබුණේ, ඔහු තවමත් සම්පූර්ණ කාලය ක්‍රීඩා කිරීමට සූදානමින් පසු වන්නේ නැති බවයි.

“මට තව කාලයක් ඕනේ හුරු වෙන්න, මම හෙට සම්පූර්ණ කාලය ක්‍රීඩා කරන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නොවේ.”

පාපන්දු පිටියේ ප්‍රබලයෙකු වන Messiගේ මංගල තරගය දැක ගැනීමට ප්‍රේක්ෂකයින් ඇමරිකානු ඩොලර් 250ක මුදලක් ගෙවා ප්‍රවේශපත් ලබා ගෙන තිබෙන නිසා බොහෝ විට හෙට තරගය ක්‍රීඩා කරන බව සඳහන් වෙනවා.

සිය කණ්ඩායමට එරෙහිව Messi ක්‍රීඩා කිරීමට පිළිබඳ අදහස් දක්වමින් ප්‍රතිවාදී කණ්ඩායමේ පුහුණුකරු Ricardo Ferretti ප්‍රකාශ කළේ,

“ඔහු හෙට ක්‍රීඩා කරන්නේ නැත්නම් ඒක හොඳ දෙයක්, ඒත් ඔවුන් කල්පනා කරන්නේ වෙන දෙයක් වෙන්න ඕන. ඇයි මේ තරම් මිනිස්සු තරගයට එන්නේ?, ඔහු දැක ගන්න ඕන නිසානේ.

ඒත් අපි තනි ක්‍රීඩකයෙකුට එරෙහිව නෙවේ තරග වදින්නේ, ඔහු දිනන්නේ හෝ පරදින්නේ තනියම නෙමෙයි. පාපන්දු කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. නමුත් මම පිළිගන්නවා තනියම ඇවිත් ලොකු පෙරළියක් කරන ක්‍රීඩකයෝ ඉන්නවා කියලා.

මෙතන දේවල් දෙකක් තියෙනවා. Cruz Azul කියන්නේ මෙක්සිකෝවේ ඉතා ප්‍රබල සහ පුරාණ කණ්ඩායමක් වෙනවා වගේම Inter Miami කියන්නේ ඇමරිකා පාපන්දු ලීගයේ ප්‍රබල කණ්ඩායමක්.”

මීට පෙර එතරම් අවධානය දිනා ගත් කණ්ඩායමක් නොවූ Inter Miami ක්‍රීඩකයින් පසුගිය සතියේ ඉතා නුහුරු අත්දැකීම් ගොන්නකට මුහුණ දුන් අතර ඔහුගේ පුහුණු සැසිය 200කට අධික මාධ්‍ය පිරිසක් ආවරණය කර තිබුණා.

ඇමරිකාව නියෝජනය කළ ප්‍රබල පාපන්දු ක්‍රීඩකයෙකු වන DeAndre Yedlin ප්‍රකාශ කර තිබුණේ Messi ඉතා ඉක්මනින් කණ්ඩායමට හැඩ ගැහෙනු ඇති බවයි.

“ඔහු ඉතාමත් හොඳ කණ්ඩායම් සඟයෙක්, ඉරිදා පැවති මාධ්‍ය හමුව අතරතුර කණ්ඩායම් සඟයෙක් ඔහුට ටිකට් අවශ්‍යයි කියා කණ්ඩායම් සමූහයේ කෙටි පණිවිඩයක් යොමු කළා. මම දැනන් හිටියේ නැහැ ඒක Messi ඉන්නවා කියලා. ඒත් ඒ පණිවිඩය දැකපු ගමන් ඔහු අසා තිබුණේ කොපමණ ප්‍රවේශපත්‍ර ගණනක් අවශ්‍ය ද කියලා.

ඔවුන් හරියට අඳුරගෙන දවස් දෙක තුනක් වෙන්න ඇති. Messiගේ ඒ පිළිතුරෙන් ම පේනවා ඔහු කොයි වගේ කෙනෙක් ද කියලා.”

Inter Miami සමඟ එක් වූ Sergio Busquets ප්‍රකාශ කර තිබුණේ නැවතත් Messi සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම විශාල සතුටක් බව සහ ඔහු සමඟ එක්ව කණ්ඩායමට හොඳ සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

දෙස් විදෙස් පාපන්දු පිටියේ උණුසුම් පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<