A කණ්ඩායම් තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට

252
Sri Lanka A v Pakistan A
AFP/Getty Images

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද අසාර්ථක වෙද්දී, ඒ දෙඅංශයෙන්ම දස්කම් අතරට පැමිණි පාකිස්තානු A ක්‍රීඩකයන් තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරන්නට සමත් විය.

ශ්‍රී ලංකා,පාකිස්තානු A කණ්ඩායම් සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය වූ මෙය පැවැත්වුනේ එංගලන්තයේ චෙල්ට්නම් හීදී.

පසුගිය ලිපි: ස්ටීව්ගේ දඟ කැවීමෙන් ශ්‍රී ලංකා පිත්ත දඟ කැවෙයි

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බාබර් අසාම් පන්දු යැවීමට ගත් තීරණයට සාධාරණයක් ඉටු කිරීමට පාකිස්තානු A පන්දු යවන්නෝ වැඩි කාලයක් වැය නොකළහ. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ අංක 3 පිතිකරු මහේල උඩවත්ත ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හැරී ගියේ මොහොමඩ් අබ්බාස් සහ බිලාවල් භාට්ටිගේ පන්දු හමුවේයි. ඔවුන් දෙදෙනාම පන්දු 9 බැගින් වැය කරමින් හතරේ පහරක් බැගින් එල්ලකර, ලකුණු 9 බැගින් ලබාගෙන තිබිණි.

හතරේ පහර 6ක් සමග වේගවත් ලකුණු 27ක් ලබාගත් ධනංජය ද සිල්වා ද, නරඹන්නෙක් බවට පත් කරන්නට තම දෙවන කඩුල්ලට හිමිකම් කියූ අබ්බාස් සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ දීර්ඝතම සබඳතාව ගොඩනැගුණේ 4වන කඩුල්ලටයි. භානුක රාජපක්ෂ සමගින් එක්වූ නායක අශාන් ප්‍රියන්ජන් ලකුණු 44ක් එක්කරන ලදි. අශාන් ලකුණු 14ක් ලබා ගනිද්දී භානුක රැස් කළ ලකුණු සංඛ්‍යාව 29ක්.

පිට පිට පන්දුවාර 2කදී භානුක සහ අශාන්ගේ කඩුලු දවාගත් මොහොමඩ් අස්ගාර් ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් වෙත යාමේ මාර්ගය තවදුරටත් අහුරා දැමුවේ සචිත් පතිරණට (17) සහ තිසර පෙරේරාට (9)ද වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදෙමින්. අස්ගාර් තම පන්දුවාර 10 තුළ ලකුණු 41කට කඩුලු 4ක් බිඳ හෙළීය.

ඇන්ජලෝ පෙරේරා කඩුල්ලේ රැඳී සිටිමින් සටනක් දීමට උත්සාහ කළද සහයක පිතිකරුවන් නොමැතිවීම හේතුවෙන් ඔහුටද සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට නොහැකි විය. ඇන්ජලෝ පන්දු 58කදී ලකුණු 35ක් රැස් කළේ ශ්‍රී ලංකා A ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. ඔහු මොහොමඩ් අබ්බාස්ගේ 3වන කඩුල්ල බවට පත්වූ අතර බිලාවල් භාට්ටිද කඩුලු 2කට හිමිකම් කීය. මොහොමඩ් නවාස් අවසන් කඩුල්ලේ අයිතිය තම නමින් සටහන් කරගනිමින් ලක්ෂාන් සඳකැන් දවාගනිද්දී ශ්‍රී ලංකා A ඉනිම ලකුණු 199කට සීමා විය.

ඉක්මන් කඩුලු කිහිපයක් දවාගෙන මේ තරගය ජය ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව උපන් ගෙයිම පුස්සක් බවට පත් කරන්නට පාකිස්තානු A ආරම්භක පිතිකරුවන් සමත් විය. තිසර පෙරේරාගේ සහ ලහිරු ගමගේ ගේ වේග පන්දු වලට ඉතා ආරක්ෂාකාරීව මුහුණ දුන් සර්ජීල් ඛාන් සහ ෆාකර් සාමාන් අනෙකුත් පන්දුයවන්නන් හඳුන්වාදීමත් සමග අත දිගහැර පහර එල්ල කිරීමට පසුබට නොවීය.

සර්ජීල් පන්දු 74කින් ලකුණු 90ක් ලබා ගත්තේ හතරේ සහ හයේ පහර වර්ෂාවක් සමගයි. ඔහුගේ ලකුණු 90 තුල කඩුලු අතර දිවීමෙන් රැස් කළ ලකුණු 18ක් පමණක් අඩංගු වූ අතර ඉතිරි ලකුණු හතරේ පහර 12කින් සහ හයේ පහර 4කින් වාර්තා විය. සාමාන් ලකුණු 74ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමගිනි.

කසුන් රාජිත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවාගත් නමුත්, ඔවුන් පළමු කඩුල්ලට ගොඩනැගූ ලකුණු 155ක සබඳතාව, තවත් කඩුලු බිඳ නොවැටීම  ජයග්‍රහණය වෙත ගෙනයන්නට උමාර් සිද්ධික් සහ අබ්දුල් රෙහෙමාන් මුසම්මිල් සමත් විය.මේ අනුව, පන්දු 97ක් සහ කඩුලු 8ක් ඉතිරිව පාකිස්තානුවන් තරගය ජය ගත්තේ තුන්කොන් එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමිනුයි.

ලකුණු පුවරුව.

ශ්‍රී ලංකා A – සියල්ලන් දැවී –199 (37.5) ඇන්ජලෝ පෙරේරා – 35, භානුක රාජපක්ෂ – 29, ධනංජය ද සිල්වා – 27, ලහිරු ගමගේ – 18, මොහොමඩ් අස්ගාර් – 4/41, මොහොමඩ් අබ්බාස් – 3/50, බිලාවල් භාට්ටි – 2/40

පාකිස්තානු A – 200/2 (33.5) සර්ජීල් ඛාන් – 90, ෆාකර් සාමාන් – 74, උමාර් සිද්ධික් – 20*, අබ්දුල් රෙහෙමාන් මුසම්මිල් –11*, කසුන් රාජිත – 2/42

පාකිස්තානු A කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට