උපුල් තරංගගේ මල් වෙඩි මැද ශ්‍රී ලංකාවට තවත් ජයක්

691
Sri Lanka L vs Bangladesh L

Road Safety World Series 2021 තරගාවලියේ තමන් ක්‍රීඩා කළ පස්වැනි තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදා ලකුණු 42 ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (10) සමත් වුනා.

තරගාවලියේ 10 වැනි තරගය වශයෙන් පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන් තීරණය කළා.

පෙර තරගය ක්‍රීඩා කළ අජන්ත මෙන්ඩිස්, චින්තක ජයසිංහ සහ රංගන හේරත් වෙනුවට ෆර්වීස් මහරුෆ්, තිලිණ තුෂාර සහ දුලාංජන විජේසිංහ අද කණ්ඩායමට කැඳවා තිබුණා.

මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ යුගලය ලෙස සනත් ජයසූරිය සමඟින් නායක තිලකරත්න ඩිල්ෂාන් පිටියට පැමිණියා.

පෙර තරගවල රිද්මය එලෙසම පවත්වා ගත් ඩිල්ෂාන් පන්දු 23ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වීමෙන් පසු Rajin Salehගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමෙ වරදට හසුව ක්‍රීඩා පිටියෙන් ඔහුට ඉවත් වීමට සිදු වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 43ක් වන විට ලකුණු 4ක් ලබා සිටි සනත් ජයසූරිය පාදයේ ඇති වූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වුනා. ඉන්පසු පිටියට පිවිසියේ චාමර ද සිල්වායි.

තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි උපුල් තරංග සමඟින් එක්වූ සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනා.

පන්දු 24ක් තුළ ලකුණු 24ක් ලබා සිටි චාමර ද සිල්වා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 96 දී Mohammad Rafiqueගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඉන්පසු පිටියට පිවිසියේ තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරුෆ්.

පන්දු 13ක් තුළ ලකුණු 12ක් රැස්කළ මහරුෆ් මුළු ලකුණු සංඛ්‍යාව 129ක් වන විට Mohammad Sharifගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඉන්පසු පිටියට පිවිසි දුලාංජන විජේසිංහ ලකුණු රැස් කිරීමට පෙර දුවද්දී දැවී යාමට ලක් වුනේ තරමක පීඩනයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙන දෙමින්.

එම දැවී යාමෙන් පසු වේගවත් පහරවල් කිහිපයකට යොමු වූ තරංග ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත් වූ අතර මුළු ලකුණු සංඛ්‍යාව 160 දී එක් ලකුණක් ලබා සිටි රසල් ආනල්ඩ් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු වුනා.

තරගය පුරාවට අගනා ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 47ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 99ක් රැස්කිරීමට සමත් වූ අතර අවසන් පන්දුවේ දී නුවන් කුලසේකර දුවද්දී දැවී යාමට ලක්වීම නිසාවෙන් ඔහුට අවාසනාවන්ත ලෙස ශතකය මගහැරී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 181ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ Nazimuddin සහ Mehrab Hossain. දෙවැනි ඉනිමේ ප්‍රථම පන්දුවාරයේ දී නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ Nazimuddin උඩපන්දුවක් ලබා දුන් නමුත් එය රැකගැනීමට මලින්ද වර්ණපුර අසමත් වුනා.

දෙවැනි ඉනිමේ මුල් පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම කැපී පෙනුණ අතර දෙවැනි පන්දුවාරයේ දී ධම්මික ප්‍රසාද්ගේ පන්දුවකට Nazimuddin ලබා දුන් උඩ පන්දුව රැකගැනීමට චාමර ද සිල්වා අසමත් වුනා.

ලද අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලා ගත් බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් මුල් පන්දුවාර 6 තුළ දී කිසිවෙකු නොදැවී ලකුණු 54ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වුනා.

කඩුල්ලක් අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වූ නායක තිලකරත්න ඩිල්ෂාන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 57ක් වන විට ලකුණු 27ක් ලබා සිටි Mehrab Hossain දවා ගැනීමට සමත් වුනා. 

නැවතත් ක්‍රියාත්මක වූ ඩිල්ෂාන් නවක පිතිකරු ලෙස පිවිසි Hannan Sarkar කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරමින් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ සිය කඩුලු මල්ලට තෙවැනි කඩුල්ල ද එක්කර ගනිමින් Mohammad Rafique ස්ටම්ප් කිරීමකට ලක් කරමින් දවා ගනිමින් බංග්ලාදේශ පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ඩිල්ෂාන් සමත් වුනා.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු තවත් සුන් කරමින් ලකුණු 5ක් රැස්කර සිටි Mushfiqur Rahman දැවී ගියේ රසල් ආනල්ඩ්ගේ පන්දුවකට තිලකරත්න ඩිල්ෂාන් හට උඩ පන්දුවක් ලබා දෙමින්.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 40ක් තුළ ලකුණු 54ක් රැස්කර සිටි Nazimuddin තිලාන් තුෂාර වෙත උඩ පන්දුවක් දෙමින් දවා ගැනීමට ධම්මික ප්‍රසාද් සමත් වුනා.

එම පන්දුවාරයේම නැවත ක්‍රියාත්මක වූ ප්‍රසාද් ලකුණු 5ක් රැස්කර සිටි Rajin Saleh දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 138ක් පමණයි.

පන්දු යැවීමේ දී නායක ඩිල්ෂාන් ලකුණු 21ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර ධම්මික ප්‍රසාද් කඩුලු දෙකක් සහ රසල් ආනෝල්ඩ් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගය ලකුණු 42කින් ජය ගනිමින් තරගාවලියේ නොකඩවා ලැබූ තෙවැනි ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයන් සමත් වුනා.

තරගයේ වීරයා හිමිකර ගැනීමට නොදැවී ලකුණු 99ක් රැස් කළ උපුල් තරංග සමත් වුනා.

ශ්‍රී ලංකා Legends – 180/6 (20): උපුල් තරංග 99*, තිලකරත්න ඩිල්ෂාන් 33, චාමර සිල්වා 24, Rajin Saleh 1/24, Mohammad Sharif 1/30

බංග්ලාදේශ Legends – 138/6 (20): Nazimuddin 54, Khaled Mashud 28, Mehrab Hossain 27, තිලකරත්න ඩිල්ෂාන් 3/21, ධම්මික ප්‍රසාද් 2/22, රසල් ආනෝල්ඩ් 2/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<