තිසරු සහ ශනොගීත් ත්‍රිත්ව විද්‍යාලයට සුපිරි ජයක් හිමිකර දෙයි

1242
Singer Schools U19

19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය යටතේ අද (8) අවසන් වූ තරග වලින් දැවැන්ත ජයග්‍රහණයන් තුනක සතුට භුක්ති විඳින්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල සමත් වූ අතර ඉසිපතන – සාන්ත පීතර තරගය පමණක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය ලිපි: දිනෙත්ගේ ශතකය සාන්ත ජෝසප් විද්‍යාලය පරාජයෙන් ගලවා ගනියි

ත්‍රිත්ව විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය

මහනුවර පාසල් දෙකක් අතර පැවති මෙම තරගය අස්ගිරි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් ධර්මරාජ විද්‍යාලය ප්‍රථමයෙන් පන්දු රැකීම තෝරාගත් අතර ඒ අනුව පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලීය පිතිකරුවන් කඩුලු 6ක් පමණක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 422කි. මෙවන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට දායකත්වය සැපයූ ශම්මුගනාදන් ශැනුගීත් ලකුණු 136ක් ද, හසිත බෝයගොඩ ලකුණු 109ක් ද රැස් කළහ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ධර්මරාජයට සියලු දෙනාම දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 90ක් පමණි. ධර්මරාජ ප්‍රථම ඉනිම වැනසූ තිසරු ඩිල්ශාන් ලකුණු 31කට කඩුලු 8ක් බිඳ හෙලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

අසාර්ථක ප්‍රථම ඉනිම නිසා නැවත වරක් පන්දුවට පහර දුන් ධර්මරාජ පිතිකරුවෝ නැවත වතාවක් ලකුණු 214කට දැවී ගියහ. මෙම තරගයේදී ශැනුගීත් රැස්කල විශිෂ්ට ශතකය සහ තිසරු ඩිල්ශාන් තරගය පුරාවට කඩුලු 10ක් බිඳ හෙලමින් දැක්වූ දක්ෂතාවය නිසාම ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක හා ලකුණු 118ක දැවැන්ත ජයක් හිමිවිය.

ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 422 (පන්දුවාර 72) ශම්මුගනාදන් ශැනුගීත් 136, හසිත බෝයගොඩ 109, එස්. පර්සිවල් 51*, නිවන්ත හේරත් 4/66

ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 90 (පන්දුවාර 29.5) නිවන්ත හේරත් 30, තිසරු ඩිල්ශාන් 8/31.

ධර්මරාජ විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 65.4)  දේශාන් ගුණසිංහ 70, උදන්ත අමරකෝන් 47, ගිහාන් විතාරණ 33, මොහොමඩ් ශුයිබ් 3/21, තිසරු ඩිල්ශාන් 2/23, ශම්මුගනාදන් ශැනුගීත් 2/29.


සාන්ත මරියා විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර තරගය

නාලන්ද විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුනු මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත මරියා විද්‍යාලය ලකුණු 126කට දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල නාලන්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 260ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය. එබැවින් අද උදෑසන තම දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු සාන්ත මරියා පිතිකරුවන් එහිදී රැස් කල ලකුණු සංඛ්‍යාව 202කි.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වූ ලකුණු 69 සිය දෙවැනි ඉනිමේදී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගත් නාලන්ද ක්‍රීඩකයෝ කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් තමන් සතුකර ගත්හ.

සාන්ත මරියා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 126 (පන්දුවාර 24.4) මාස් රහීම් 78, සුහඟ විජේවර්ධන 3/48, කලණ පෙරේරා 3/31, මදුෂාන් හසරංග 2/14, උමේක්ෂ දිල්ෂාන් 2/13.

නාලන්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 260 (පන්දුවාර 62) දිල්හාර පොල්ගම්පල 81, මාලිංග අමරසිංහ 60, ලක්ෂිත රසාංජන 49*, සුහඟ විජේවර්ධන 33, ලසිත උදාගේ 2/59.

සාන්ත මරියා විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 202 (පන්දුවාර 77.3) සඳරු ශ්‍රියශාන්ත 48, සජීව රන්ජිත් 32, මාස් රහීම් 33, උමෙෂ්ක ඩිල්ශාන් 3/44, ලක්ෂිත රසාංජන 4/59.

නාලන්ද විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 74 (පන්දුවාර 15.1) දසුන් සෙනවිරත්න 33.


ආනන්ද විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර තරගය

වෙස්ලි විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගයේ දී ඔවුන්ට අමිහිරි පරාජයකට මුහුණ පාන්නට සිදුවිය. කාසියේ වාසිය ජය ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ආනන්ද විද්‍යාලය, කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 377ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් ශතක ලාභීන් බවට පත්වූ සහන් සුරවීර ලකුණු 118ක් ද, ශම්මු අශාන් ලකුණු 106ක් ද රැස් කරන්නට සමත් වූහ.

පිලිතුරු ලෙස පන්දුවට පහර දුන් වෙස්ලි විද්‍යාලය ලකුණු 153කට දැවී ගිය අතර සිය දෙවැනි ඉනිම වෙනුවෙන්ද ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 214ක් පමණි. ඒ අනුව ආනන්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 10ක දැවැන්ත ජයක් හිමිවිය. වෙස්ලි විද්‍යාලයේ ප්‍රථම ඉනිම අසරණ කල ශම්මු අශාන් කඩුලු 5ක් දවාගත් අතර, දෙවන ඉනිම අඩපණ කල දිලීප ජයලත් කඩුලු 6ක් දවාලීමට සමත් විය.

ආනන්ද විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 377 (පන්දුවාර 60.5) සහන් සුරවීර 118, ශම්මු අශාන් 106, දුශාන් හෙට්ටිගේ 89, අසේල් සිගේරා 51*, කවින්ද දිසානායක 2/107.

වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 32.3) සකුන්තක ලියනගේ 52, ශමෝද් ඇතුලත්මුදලි 33, තිලිණ පෙරේරා 20, තිසුරක අක්මීමන 25, ශම්මු අශාන් 5/66, දිලීප ජයලත් 3/28.

වෙස්ලි විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 65.2) තිසුරක අක්මීමන 45, හෙලිත බඹරැන්ද 48, මොවින් සුබසිංහ 51, ශම්මු අශාන් 3/78, දිලීප ජයලත් 6/86.


ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගයේ කාසියේ වාසිය හිමි වූයේ ඉසිපතන විද්‍යාලයටයි. ඔවුහු ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව ඉසිපතනය සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 190කි. එහිදී අයන සිරිවර්ධන ලකුණු 53ක් රැස් කල අතර මොහොමඩ් අමීන් කඩුලු 4ක් බිඳ හෙලන ලදී.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු සාන්ත පීතර ක්‍රීඩකයෝ ලකුණු 254ක් රැස් කිරීමට සමත් වූහ. අනිෂ්ක පෙරේරා ලකුණු 80ක් රැස් කළ අතර මනෙල්ක ද සිල්වා අර්ධ ශතකයක් රැස් කරමින් පීතර ඉනිම ගොඩ නැංවීමට උපකාරී විය. තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ අයන සිරිවර්ධන සාන්ත පීතර පිතිකරුවන් සත් දෙනෙකු නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වූයේ ලකුණු 74ක් පමණක් ලබා දෙමිනි.

සාන්ත පීතර ප්‍රථම ඉනිමට වඩා ලකුණු 64ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඉසිපතන විද්‍යාලය දිනය නිමා වනවිට කඩුලු 9ක් දැවී ලකුණු 239ක් රැස් කරගෙන සිටියහ. ඉසිපතනය වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 43.1) අයන සිරිවර්ධන 53, සංජුල අබේවික්‍රම 44, කලණ පෙරේරා 26, පැතුම් නිස්සංක 26, මොහොමඩ් අමීන් 4/37, චතුර ඔබේසේකර 3/53.

සාන්ත පීතර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 76.5) අනිෂ්ක පෙරේරා 80, මනෙල්ක ද සිල්වා 54, රන්මිත් ජයසේන 42, ලක්ෂින රොද්‍රිගෝ 33, අයන සිරිවර්ධන 7/74.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 9ක් දැවී ලකුණු 239 (පන්දුවාර 65) පැතුම් නිස්සංක 77, හර්ෂ රත්නායක 35*, හේෂාන් ප්‍රනාන්දු 33, ලෙෂාන් අමරසිංහ 26, සචින් සිල්වා 2/21, චතුර ඔබේසේකර 2/68, මොහොමඩ් අමීන් 2/76.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට