ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නම බේරා ගැනීමට නම්

275
England Women's Tour of Sri Lanka

පසුගිය ඕස්ට්‍රේලියා තරඟාවලියේදී ලද අන්ත පරාජය මතින් නැගිට ජයග්‍රහණය සොයා යාම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සූදානම් වෙමින් සිටියි.

පසුගිය ලිපි:  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට ඉනෝකා රණවීර

හෙදර් වයිට්ගේ නායකත්වයෙන් සවිබල ගැන්වුනු 15 දෙනෙකුගෙන් සමන්විත ප්‍රබල එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා තරඟ සංචාරයකට එක් වීමට සූදානම් වන අවස්ථාවක මෙම සටහන ලිය වේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට මෙම තරඟාවලිය වැදගත් වීමට ප්‍රධානතම හේතුව ලෙස, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ දී තවමත් ශ්‍රී ලංකාවේ දී ජයග්‍රහණයක් සටහන් කිරීමට අසමත් වීමයි. එමෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායමට ද මෙම තරඟාවලිය විශේෂ වනු ඇත. මෙම  වසරේ ඔවුන් සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරඟාවලිය මෙය වන අතර එළැඹෙන වසරේ දී එංගලන්තයේ දීම පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තම ස්ථානය තහවුරු කරගැනීම සඳහා ඔවුනට තවත් එක් ජයග්‍රහණයක් අවශ්‍ය ව ඇති වීම එයට හේතුවයි.

කැරිබියන් දූපත් තුලදීම බටහිර ඉන්දීය කොදෙව්වන් තරඟ 3-2 ලෙස පරාජය කල ඉංග්‍රීසි ජාතික කාන්තා කණ්ඩායම මෙම තරඟාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් පැමිනෙනු ඇත. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙම මස 09, 12, 15 සහ 17 යන දිනවල දී තරඟ වැදීමට නියමිතය. ඒ ඔවුනට තම මව් රටේ දී පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ස්වයංක්‍රීයව තෝරා ගැනෙන කණ්ඩායම් 4 තුලට ඇතුලත් වීම සඳහායි.

ඒ අතරවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලියට සහභාගී වන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතින් අන්ත පරාජයකට ලක් වීමෙන් පසුවයි. කෙසේ වෙතත් ක්‍රීඩා විචාරකයින් දක්වන ආකාරයට, මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හුරු පුරුදු තණතිලි හා පරිසරයක් තුල පැවැත්වුණත්, නයිට්ගේ ඉංග්‍රීසි ජාතික කණ්ඩායම පරාජය කිරීම එතරම් ලෙහෙසි පහසු නොවනු ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය සඳහා තම නිත්‍ය නායිකාව වන චමරි අතපත්තු නොමැතිව සහභාගී වන අතර ඇය වෙනුවෙන් නායකත්වය පැවරී ඇත්තේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර හටයි.

තරඟාවලිය සම්බන්දයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය මෙසේ සඳහන් කලාය.

ඔව් ඇත්තෙන්ම අප කණ්ඩායමක් ලෙස කණගාටුවට පත් වෙනවා. අප ක්‍රීඩා කල ආකාරය කලකිරවන සුලු යි. නමුත් එම පරාජය ගැන කනගාටු වෙමින් නොසිට අපට ඉදිරියට ඇති දේ සඳහා සූදානම් වීම වැදගත් වෙනවා. මම විශ්වාස කරනවා ඉදිරි අභියෝගයට සාර්ථකව මුහුණ දීමට අප කණ්ඩායමක් ලෙසින් සූදානම් බව.”

මෙහිදී තරඟාවලිය සම්බන්ධ සැලසුම් සහ සූදානම පිළිබඳව නැගුණු පැනයකට ඇය මෙසේ පිළිතුරු දුන්නාය.

අපි ඔවුනට හොඳ තරඟයක් දීමට බලාපොරොත්තුවෙනවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතිනවා. මෙම තරඟාවලිය සඳහා අපි දැනට සති තුනක පමණ කාලයක සිට සූදානම් වෙනවා. ඉතින් අපි අභියෝගය භාර ගැනීමට සූදානම්.”

අවසන් වශයෙන් ප්‍රථම වරට නායකත්වයට පත්වීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ,

ඇත්තෙන්ම මම විශ්වාස කරන ආකාරයට සෑම කෙනෙක්ම නායකයෙක්. මම පන්දු යවද්දී මම මගේ උපරිමය කිරීමට උත්සාහ කරනවා. අනෙක් ක්‍රීඩිකාවනුත් එසේමයි. එමනිසා අපි හැමදෙනාම නායකයින් ලෙස හැඳින්වීමට කැමතියි. එම නිසා එය විශේෂ කාරණයක් නොවන නමුත් මට වගකීමක් ඇති බව මම හොඳින් දන්නවා. එය උපරිමයෙන් ඉටු කිරීමට මම උත්සාහ ගන්නවා.”

ශ්‍රී ලංකා කණ්ඩායම

ඉනෝකා රණවීර (නායිකා) , ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), ඩිලානි මනෝදරා, නිලක්ෂි සිල්වා, අමා කාංචනා, හසිනි පෙරේරා, චමරි පොල්ගම්පල, චමරි අතපත්තු, නිපුනි හංසිකා, ශ්‍රීපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි,  ඕෂධී රණසිංහ, හංසිමා කරුණාරත්න, අචිනි කුලසූරිය,

අතිරේක ක්‍රීඩිකාවන් – ඉනෝෂි ප්‍රනාන්දු, ලසන්ති මදුශානි, අනුශ්කා සංජීවනි, මල්ෂා ශෙහානි.

එංගලන්ත කණ්ඩායම

හෙදර් වයිට් (නායිකා), ටැමී බෝමන්, කැතරින් බ්‍රන්ට්, ජොර්ජියා එල්විස්, ජෙනී ගන්, ඇලෙක්ස් හාර්ට්ලි, ඩැනියෙල් හේසල්, ඒමි ජෝන්ස් (කඩුලු රකින ක්‍රීඩිකා), බෙත් ලැංස්ටන්, ලෝරා මාෂ්, නැටලී ස්ක්‍රයිවර්, ලෝරන් වින්ෆීල්ඩ්, ෆ්‍රැන් විල්සන්, ඩැනියෙල් වයට්,

අතිරේක ක්‍රීඩිකාවන් – ජෝර්ජියා ඇඩම්ස්, කේට් ක්‍රොස්, ඇලිස් ඩේවිඩ්සන්-රිචඩ්ස්, සොෆියා ඩන්ක්ලි, සොෆී එක්ලෙස්ටන්, ජෝර්ජියා හැනසි, හැනා ජෝන්ස්, එමා ලැම්බ්, බ්‍රයනි ස්මිත්

මෙම තරඟාවලිය අද සිට ලබන 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

1 වන එක්දින ජාත්‍යන්තර තරඟය – නොවැම්බර් 09 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම – SSC
2 වන එක්දින ජාත්‍යන්තර තරඟය – නොවැම්බර් 12 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය
3 වන එක්දින ජාත්‍යන්තර තරඟය – නොවැම්බර් 15 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය
4 වන එක්දින ජාත්‍යන්තර තරඟය – නොවැම්බර් 17 – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට