ශ්‍රී ලංකාව පහසුවෙන්ම බංගලියෝ පරාජය කරති

591

6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (25) කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ අතර අද පැවති අනෙක් තරගවල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිම්බාබ්වේ පරාජය කරමින් ද, ඉන්දියාව විසින් පාකිස්තානය ද පරාජය කරමින් ද ජයග්‍රහණ වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉලක්කයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන…

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 142ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූහ.

බංග්ලාදේශ ඉනිමේ සාර්ථකම පිතිකරු වූයේ සබිට් හුසේන් ය. ඔහු පන්දු 38ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් රැස් කළේය. ඔහු ඉන්සමාම් උල් හක් එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩ නැගුවේය. ඉන්සමාම් පන්දු 42කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 33ක් ලබා ගත්තේය.

අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ඉන්සමාම් සහ මරාජ් නිලෝයි එක්ව ලකුණු 48ක් වාර්තා කරමින් බංග්ලාදේශ ඉනිම වඩාත් ශක්තිමත් කළහ.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ජනිත් ලියනගේ, කොෂාන් දනුශ්ක, ඩෙවින් පත්මනාදන් සහ මධුශාන් රවිචන්ද්‍රකුමාර් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 143ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දී සපුරා ගත්හ.

ඉන්දීය ඉනිම සේ ම ශ්‍රී ලංකා ඉනිමේ ද පළමු කඩුල්ල අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ පසුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක සබඳතාවක් ගොඩ නැගීමට පසිඳු ලක්ෂාන් සහ හෂාන් දුමිදු සමත් වූහ. පසිඳු පන්දු 25ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී ගියේය.

ඒ හා සමඟින් තවත් ලකුණු 5ක් කණ්ඩායමට එක්වෙද්දී ඊළඟ කඩුල්ල ද අහිමි වූ අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හෂාන් සහ ජනිත් ලියනගේ එක්ව ලකුණු 55ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මාවතට ගෙන ආහ. ජනිත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව පන්දු 23ක දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 22කි.

තරගය ජයග්‍රහණයෙන් නිමා වෙද්දී හෂාන් දුමිඳු පන්දු 43කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයෙන් ලකුණු13ක් ලබා ගත් චාමික කරුණාරත්න රැඳී සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මහබුබුර් රාහ්මන් ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

බංග්ලාදේශය; කඩුලු 7ක් දැවී 142 (20.0): ඉන්සමාම් උල් හක් 33, සබිට් හුසේන් 50, මරාජ් නිලෝයි 26, ප්‍රමෝද් මධුශාන් 3/27

ශ්‍රී ලංකාව; කඩුලු 4ක් දැවී 147 (18.2): පසිඳු ලක්ශංක 30, හෂාන් දුමිඳු නොදැවී 66, ජනිත් ලියනගේ 22, මහබුබුර් රාහ්මන් 2/15

චමරි අතපත්තු සිය හොඳම ප්‍රසාද ලකුණ වාර්තා කරයි

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සමත් වූ අතර…

සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය

පෙර තරගයේ දී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 140ක ජයක් ලැබූ බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද කොළඹ එස්. එස්. සී. පිටියේ දී නිමා වූ තරගයෙන් එක්සත් එබීර් රාජ්‍ය ක්‍රීඩකයන් හමුවේ කඩුලු 3ක පරාජයක් ලැබූහ.

පැවති අයහපත් තත්ත්වය මත තරගය පන්දුවාර 16කට සීමා වූ අතර කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 120ක් ලබා ගත්හ. එම ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ මතන්ඩෂෝ මෝයෝ ය. ඔහු ලකුණු 44ක් ලබා ගත්තේ ය. කරන් අවුටනාන්ඩ් ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ දී සයිඩ් ෆයාෂාන් අහමඩ් ලකුණු 65ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

පන්දු යැවීමේ දී අනෙලි නිග්වෙන්‍යා ලකුණු 09කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූව ද ඔහුගේ උත්සාහය තරගය දිනවීමට තරම් ප්‍රමාණත් නොවුණි.  

සිම්බාබ්වේ; කඩුලු 6ක් දැවී 120 (16.0): මතන්ඩෂෝ මෝයෝ 44, මෂින්ගයා මඩ්ලොන්ග්වා 29, කරන් අචුටනාන්ඩ් 2/13

එක්සත් අරාබි එමීර් රාජ්‍යය; කඩුලු 7ක් දැවී 122 (13.4): සයිඩ් ෆයාෂාන් අහමඩ් 65, ආදිත්‍ය කොතාරි 17, රාම් නරායන් 16, අනෙලි නිග්වෙන්‍යා 3/09

ඕස්ට්‍රලේෂියා කුසලාන ගෘහස්ථ ක්‍රිකට් පිටියේ වැඩි ගෞරවය ලෝක ශූරයින්ට

ඕස්ට්‍රලේෂියා කුසලානය වෙනුවෙන් පැවති ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය පසුගිය 20 වැනිදා සිට පුරා දින 4ක් පුරාවට තලවතුගොඩ පිහිටි ඔස්තේෂියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ…

පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය

ශ්‍රී ලංකාවට එරෙහිව පෙර තරගය ජය ගත් ඉන්දීය ක්‍රීඩකයෝ අද පාකිස්තානය හා සමඟ පැවති තරගය ද ජයග්‍රහණය කිරීමට සමත් වූහ. ඒ කඩුලු 6කිනි.

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගය පන්දුවාර 9කට සීමා විය. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තාන ක්‍රීඩකයන්ට ලබා දුන්හ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු109ක් ලබා ගත්හ. එම ඉනිමේ දී අර්සලාන් ෆර්ෂාන්ඩ්, මොහොමඩ් අසාද් සහ හම්ෂා කදීර් ලකුණු 20 සීමාව පසු කළ අතර දිව්‍යන්ග් හින්ගෙකර් සහ පියුෂ් සල්වි කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම පන්දුවාර 8.4කින් නිමා කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉනිමේ දී යශ් නායර් නොදැවී ලකුණු 42ක් ද, දිව්‍යන්ග් හින්ගෙකර් නොදැවී 22ක් ද ලබා ගැනීමට සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී කුරාම් ශෂාද් කඩුලු 2ක් දවා ගත්තේ ය.

පාකිස්තානය; කඩුලු 6ක් දැවී 109 (9.0); අර්සලාන් ෆර්ෂාන්ඩ් නොදැවී 21, මොහොමඩ් අසාද් 20, හම්ෂා කදීර් 20, දිව්‍යන්ග් හින්ගෙකර් 2/23, පියුෂ් සල්වි 2/21

ඉන්දියාව; කඩුලු 4ක් දැවී 110 (8.4): යෂ් නාහර් නොදැවී 42, දිව්‍යන්ග් හින්ගෙකර් නොදැවී 22, කුරාම් ශෂාද් 2/16

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<