හේරත් හෙලිකරන බංග්ලාදේශයේ ප්‍රධානතම දුර්වලතාවය

583
Rangana Herath

තීරණාත්මක අවස්ථාවල නිවැරදි තීරණ ගැනීමට අසමත් වීම බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම දුර්වලතාවය බව ඔවුන්ගේ දඟපන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් විසින් පවසනවා.

බංග්ලාදේශයේ චිතගෝන් හී ඉන්දියාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට ඉන්දියාව පළමු ඉනිමේ රැස් කළ ලකුණු 404ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී රැස් කරගෙන සිටියේ ලකුණු 133ක් පමණයි.

ඔවුන් ඉන්දියාවට වඩා තවත් ලකුණු 271ක් ඒ වන විට පසුපසින් සිටි අතර, පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදු වීමෙන් වැළකී සිටීමට (follow on) නම් ඔවුන් තවත් ලකුණු 71ක් රැස් කර ගත යුතුව තිබුණා.

“අපි තරගයේ යම් තැන්වල දී හොඳ ප්‍රගමනයක් ලබා ගන්නවා, නමුත් ටික මොහොතකින් අපිම ඒක විනාස කර ගන්නවා. මම හිතන්නේ ඒක අපේ තාක්ෂණික දුර්වලතාවයක්ම නෙවෙයි, එතන තියෙන්නේ අපිට තීරණාත්මක අවස්ථාවල නිවැරදි තීරණ ගැනීමට නොහැකි වීමේ අඩුපාඩුව කියලයි.”

ඊයේ දිනය අවසානයේ මාධ්‍ය හමුවට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් සිය කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳ හේතු දැක්වුවා.

“කඩුලු අටක් බිඳ වැටීම කණගාටුදායකයි, නමුත් ඔබ දන්නවා මේ තමයි ටෙස්ට් ක්‍රිකට්. තව දවස් තුනක් ඉතුරුයි, අපිට සිද්ධ වෙනවා අල්ලගෙන ඉන්න සහ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න.

ටෙස්ට් ක්‍රිකට් ලේසි නැහැ, එය නිතරම ඔබේ හැකියාවන් මැන බලනවා, ඔබේ ඉවසීම මැන බලනවා. ඒ නිසා ඔබට මහන්සි වෙලා සටන් කරන්න සිදු වෙනවා. ඒ වගේම ඔබ සටන්කාමී ආකල්පවලින් හෙබි විය යුතුයි. ඔබ එහි (ක්‍රීඩා පිටියේ) ටික කාලයක් ගත කරද්දී ඔබට කෙමෙන් පහසු අවස්ථාවන් උදා වෙනවා. ඔබ අන්න ඒ අවස්ථාව එනකම් බලාගෙන ඉන්න ඕන, ඒක ම තමයි අපේ ක්‍රීඩකයින්ගෙනුත් මම බලාපොරොත්තු වෙන්නේ.

දවස් තුනක් කියන්නේ පන්දුවාර 270ක් පමණ තවමත් ඉතුරුයි, අපි මහන්සි වෙලා සටන් කළ යුතුයි, අපේ පසුපෙළ පිතිකරුවන් හොඳ සබඳතා ගොඩ නගමින් (සමහර විට ඔවුන්ට එය අපහසු දෙයක් වෙන්න පුළුවන්) සටනක් දිය යුතුයි.”

ඊයේ දවස නිමාවේ හේරත් එසේ සඳහන් කළා වුනත්, අද තරගය ආරම්භ වී බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 17ක් එකතු වෙද්දී ඔවුන්ගේ ඉතිරි කඩුලු දෙකත් දැවී ගියා.

නමුත් ඉන්පසු ඉන්දියාව පිට පිට දෙවැනි වරටත් පන්දුවර පහර දීමට බංග්ලාදේශයට ඇරයුම් නොකර සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර, අද (16) දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන විට ඉන්දියානු දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 38ක් ලෙස සටහන් වී තිබුණා.

මේ අතර ඉන්දීය පළමු ඉනිමේ දී බංග්ලාදේශයේ Shakib Al Hasan ආබාධයක් හේතුවෙන් පන්දු යැවීමෙන් වැළකී සිටි අතර, හේරත් සඳහන් කළේ ඔහු දෙවැනි ඉනිමේ පන්දු යවනු ඇති බවයි.

“Shakibගේ උරහිසේ ඇතිවුන ආබාධයක් නිසා පළමු ඉනිමේ පන්දු යැවුවේ නැහැ, නමුත් ඔහු දෙවැනි ඉනිමේ දී අනිවාර්‍යෙන්ම පන්දු යවාවි.”

Shakibගේ ආබාධය තිබිය දීත් ඔහුව තරගයට ක්‍රීඩා කරවීමට ගත් තීරණය නිසා බංග්ලාදේශ කණ්ඩායමේ සං‍යුතියට ද විශාල බලපෑමක් එල්ල වූ අතර, (Shakibගේ ආබාධය නිසා Taijul Islam තවත් දඟපන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට එකතු වීමෙන් පිතිකරණ අනුපිළිවෙළ වෙනස් වුනා) එය ද බංග්ලාදේශ ඉනිම අඩු ලකුණු ගණනකට සීමා වීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් කළ හැකියි.

දිනෙන් දින අලුත් වන ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<