වමත් දඟපන්දුවෙන් කඩුලු දඩයම් කරන රංගන හේරත් පාකිස්තානය සමඟ නිමා වූ දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය අවසානයේ දී තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලු 400 සීමා ඉර පෑගුවේ ය. ලොව වමත් දඟපන්දු යවන්නන් අතුරින් කඩුලු 400 සීමාවට පැමිණි පළමුවැන්නා වන්නේ ද රංගන ය.

පන්දු යවන්නාගේ රංගනයට අමතරව රංගන අවස්ථා කිහිපයක දී ම කණ්ඩායම මෙහෙයවූ නායකයෙක් සේ ම, අවශ්‍ය අවස්ථාවක දී පිත්තෙන් ද තම කණ්ඩායම වර්ණවත් කළ ක්‍රීඩකයෙකි. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ද වන රංගනගේ කඩුලු දඩයම සම්බන්ධයෙන් ThePapare.com තබන සටහනකි මේ.

වාර්තා පිට වාර්තා තැබූ හේරත් තියුණු ජයකට මඟපාදයි

දිවා ආහාරයට පසුව පිටියට පැමිණි පකිස්තානු කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 136ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන්ගේ පළමු කඩුලු 3 දවා …

1999 වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරයක නිරත ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලාංකීය ටෙස්ට් වරම් ලැබූ 78 වැනි ක්‍රීඩකයා ලෙස හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් හෙවත් රංගන හේරත් ක්‍රිකට් කරළියට පිවිසෙන්නේ ය. ඒ වන විට ඔහු වයස අවුරුදු 21ක කොලු ගැටයෙකි.

එතැනින් ආරම්භ වූ රංගනගේ ක්‍රිකට් දිවියේ මේ ගත වෙන්නේ 18 වැනි වසරයි. එතෙක් මෙතෙක් ටෙස්ට් තරග 84කට මුහුණ දී ඇති රංගන ඉනිම 153ක දී පන්දුවාර 3972.3ක් යවමින් කඩුලු 400ක් දවා ගන්නේ ය. මේ දක්ෂතාවේ දී ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ලකුණු 127කට ලබා ගත් කඩුලු 9 වාර්තා වන්නේ ය. තරගයක හොඳම පන්දු යැවීම ලෙස එම ඉනිම ද ඇතුලත් තරගයේ දී ලකුණු 184කට ලබා ගත් කඩුලු 14 වාර්තා වන්නේ ය.

රංගනගේ කඩුලු සංග්‍රාමයේ ඉනිමක කඩුලු 4 බැගින් දවාගත් අවස්ථා 19ක් ද, කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 53ක් ද සහ තරගයක කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා 9ක් ද වාර්තා වන්නේ ය.

නායකයෙක් ලෙස කණ්ඩායම මෙහෙයවමින් කටයුතු කළ තරග 5 දී ලකුණු 768කට කඩුලු 36ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට ද රංගන සමත් වන්නේ ය.

ටෙස්ට් තරග ආරම්භය

නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් අනතුරුව කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජයෙන් ලත් ක්‍රිකට් දැනුම හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට ගාල්ලේ දී  වරම් ලැබීමට රංගන සමත් වන්නේ ය. ඒ ඒ වන විටත් ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෙස හැඳින්වුණ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ය. ඔවුන්ට එරෙහි කණ්ඩායමේ රංගනට පැවරෙන්නේ සහායක භූමිකාව ය. ප්‍රධාන පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් ය.

රංගනගේ පළමු තරගයේ රංගනය නිමා වන්නේ පන්දුවාර 34.3ක්, නොඉඳුල් පන්දුවාර 6ක් සහ ලකුණු 97කට කඩුලු 4ක් ලෙසිනි. මුරලිදරන්ගේ පන්දු යැවීම ලකුණු 71කට කඩුලු 5ක් විය. පළමු තරගය ජය පරාජයෙන් අවසන් ව ප්‍රතිවාදීන්ට දෙවැනි ඉනිමේ නැවත වතාවක් පිතිකරණයේ නියැලෙන්නට අවස්ථාවක් නොවීම නිසා රංගනට ද දෙවැනි ඉනිමේ දී සිතූ සේ රඟන්නට ඉඩ ලැබුණේ නැත.

ඕස්ට්‍රේලියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී ද රංගනයට වැඩි යමක් කර ගත හැකි වූයේ නැත. එම තරග සංචාරය අවසන් වන විට රංගනගේ දක්ෂතාව තරග දෙකක දී පන්දුවාර 69.3ක්, නොඉඳුල් පන්දුවාර 16ක් සහ ලකුණු 195කට කඩුලු 6ක් සේ විය. අනතුරුව 2000 වසරේ ජුනි මාසයේ මෙරට ට පැමිණි පාකිස්තාන කණ්ඩායම හා සමඟ පැවති පළමු ටෙස්ට් තරගයට ද රංගන කැදවන්නේ ය.

එම තරගයේ දී රංගනගේ පන්දු යැවීම දඩයක්කාර භූමිකාවක් ගත්තේ නැත. ලකුණු සටහන් පොතේ ඔහුගේ පන්දු යැවීම සටහන් ව තිබුණේ පන්දුවාර 36ක්, නොයිඳුල් පන්දුවාර 7ක්, ලකුණු 115ක් සහ කඩුලු 0ක් ලෙසිනි. එම තරගයත් සමග අවසන් වූ රංගනගේ පළමු කාර්තුව පන්දුවාර 105.3ක්, නොයිඳුල් පන්දුවාර 23ක්, ලකුණු 310කට කඩුලු 6ක් විය. කඩුල්ලක් ලබා ගැනීම සඳහා ලබා දුන් ලකුණු ප්‍රමාණයේ සාමාන්‍ය 51.6ක් විණි.

සංගා, මහේල, අරවින්ද අලූත් සූත්‍රයක් සමඟින් නැවතත් පිටියට

ක්‍රීඩා අමාත්‍යංශයේ දී ඊයේ (03) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයින් …

ඉන් අනතුරුව රංගනට වසර දෙකකට වැඩි කාලයක් තම දඩයක්කාර මෙවලම් දේශීය තරග පිටියට පමණක් උපයෝගී කර ගැනීමට සිදුවන්නේ ය. ඒ 2004 මාර්තුවේ දී නැවත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෙරට සංචාරයක් සඳහා පැමිණී ම දක්වා ය. එතැන් සිට ආරම්භ වන රංගනගේ දෙවැනි කාර්තුව 2005 සැප්තැම්බර් මාසය දක්වා දිව යන්නේ ය. ඒ අනුව එම තරග කාර්තුවේ දී රංගන ටෙස්ට් තරග 9කට සහභාගී වෙමින් කඩුලු 29ක් ලබා ගන්නේ ය. දැන් රංගනගේ දක්ෂතාව පෙළගැස්වෙන්නේ තරග 12ක දී කඩුලු 35ක් ලෙසිනි. ඒ තරගයක දී කඩුලු ලබා ගැනීම 2.9ක් සේ සාමාන්‍ය අගයක් ගනිමිනි.

අනතුරුව නැවත රංගනට ටෙස්ට් පිටිය අහිමි වන්නේ ය. එම කාලය වසර තුනකි. එම කාලය තුල රංගනට මගහැරී ගිය ටෙස්ට් තරග සංඛ්‍යාව වසර 3කට 22කි.

2005 වසරේ දී ටෙස්ට් තරග 3කින් සමන්විත ඉන්දීය සංචාරය. 2006 වසරේ දී ටෙස්ට් තරග 2කින් සමන්විත බංග්ලාදේශ සංචාරය, ටෙස්ට් තරග 3කින් සමන්විත එංගලන්ත සංචාරය, ටෙස්ට් තරග 2කින් සමන්විත නවසීලන්ත සංචාරය මෙන් ම මෙරට පැවති ටෙස්ට් තරග 2කින් සමන්විත පාකිස්තාන තරගාවලිය සහ ටෙස්ට් තරග 2කින් සමන්විත දකුණු අප්‍රිකා තරගාවලියයි. 2007 වසරේ දී ටෙස්ට් තරග 3 බැගින් මෙරට පැවති බංග්ලාදේශ සහ එංගලන්ත තරගාවලියන් මෙන්ම ටෙස්ට් තරග දෙකකින් සමන්විත ඕස්ට්‍රේලියා සංචාරය ද ඒ අතර විය.

කඩුලු දඩයමේ ආරම්භය

රංගනගේ කඩුලු ලබා ගැනීමේ දඩයක්කාර භූමිකාව ආරම්භ වන්නේ ලැබූ එම සංක්‍රාන්තිය නිමා වීමත් සමඟිනි. ඒ 2008 වසරේ මාර්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්වීමට වරම් ලබා ගනිමිනි. ලැබූ සංක්‍රාන්තිය වඩාත් ඵලදායි සේ කළමනාකරණ කර ගන්නා රංගන වඩාත් දක්ෂ පරිපූර්ණ වමත් දඟපන්දු යවන්නෙක් සේ ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර වන්නේ ය.

ටෙස්ට් තරග පිටියට පිවිසි ක්‍රීඩා කරනු ලැබූ පළමු වසර 5දී (1999-2008 ) රංගනගේ දක්ෂතාව වූයේ තරග 14ක දී ඉනිම් 25ක දී පන්දුවාර 484.1ක් යවමින් ඉන් පන්දුවාර 98ක් නොඉඳුල් පන්දුවාර ලෙසින් සටහන් කරමින් ලකුණු 1418කට කඩුලු 36ක් ලබා ගැනීම යි. (වසර ගණනය කිරීමේ දී රංගන කණ්ඩායමේ නොසිටි 2001 – 2003 දක්වා කාලය ගණනය නොකෙරුණි.)

මේ දත්තයන් ම නිමා වූ වසර 5ට ගණනය කිරීමේ දී රංගනගේ දක්ෂතාව සාමාන්‍ය හය ගුණයකට වඩා වැඩි වී ඇත. ඒ අනුව 2013 – 2017 මේ දක්වා කාලයේ දී රංගන තරග 40කට සහභාගී වී ඉනිම් 76ක දී පන්දුවාර 2020.5ක් යවමින් ඉන් පන්දුවාර 392ක් නොඉඳුල් පන්දුවාර ලෙස සටහන් කරමින් ලකුණු 5094කට කඩුලු 221ක් ලබා ගන්නේ ය.

මෙම කාලයේ දී තමන්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳ ම පන්දු යැවීම වාර්තා කිරීමට ද රංගන සමත් වන්නේ ය. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ය. කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති එම තරගයේ දී රංගන පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 9ක් ලකුණු 127කට දවා ගන්නේ ය. එය වමත් දඟපන්දු යවන්නෙක් විසින් දැක්වූ ඉහළ ම දක්ෂතාව ද වන්නේ ය. එම තරගයේ දී ඔහු ලකුණු 184කට කඩුලු 14ක් ලබා ගනිමින් තමන්ගේ තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීමට ද එම තරගය ම යොදා ගන්නේ ය.

මෙම ගණනය කිරීමට ප්‍රථම පැමිණෙන වසර වූ 2012 රංගනගේ හොඳ ම කඩුලු දඩයම් කාලය ලෙසින් වාර්තා වේ. ඔහු එම වසරේ දී තරග 10කට සහභාගී වෙමින් ඉනිම 18ක දී පන්දුවාර 537.2කින් නොඉඳුල් පන්දුවාර 91ක් යවමින් ලකුණු 1417කට කඩුලු 60ක් ලබා ගන්නේ ය.

එමෙන් ම රංගනගේ අවසන් ටෙස්ට් තරග 10 දී කඩුලු 62ක් ලබා ගැනීමට ද රංගන සමත් වන්නේ ය. ඒ පන්දුවාර 465.6ක දී නොඉඳුල් පන්දුවාර 74ක් යවමින් ලකුණු 1460ක් ලබා දෙමිනි. මේ සෑම අවස්ථාවක දී ම කඩුල්ලකට ලබා දුන් ලකුණු සංඛ්‍යාව 20 – 25ත් අතර රඳවා ගැනීමට ඔහු සමත් වන්නේ ය.

කඩුලු 400ක් දක්වා ආ ගමන

1999 වසරේ දී ඕස්ට්‍රේලියා සුපිරි ක්‍රීඩක රිකි පොන්ටිංගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ආරම්භ වන රංගනගේ කඩුලු දඩයම මේ වන විට නතර ව තිබෙන්නේ පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් අබ්බාස්ගේ නම ඉදිරියෙනි.

කඩුල්ල පිතිකරු රට කාලය ක්‍රීඩාංගණය
01 රිකී පොන්ටිං ඕස්ට්‍රේලියාව 1999 සැප්තැම්බර් එස්.එස්.සී
50 උමාර් ගුල් පාකිස්තානය 2009 ජුලි එස්.එස්.සී
100 බ්‍රැඩ් හැඩින් ඕස්ට්‍රේලියාව 2011 සැප්තැම්බර් එස්.එස්.සී
150 අසාද් සෆීක් පාකිස්තානය 2012 ජුලි පල්ලෙකැලේ
200 සොහාග් ගාසි බංග්ලාදේශය 2013 මාර්තු ආර්. ප්‍රේමදාස
250 යුනිස් ඛාන් පාකිස්තානය 2014 අගෝස්තු එස්.එස්.සී
300 ස්ටීවන් ෆ්ලෙමින් එංගලන්තය 2016 මැයි ලීඩ්ස්
350 ක්‍රිස්ටෝපර් මුපුෆු සිම්බාබ්වේ 2016 නොවැම්බර් හරාරේ
400 මොහොමඩ් අබ්බාස් පාකිස්තානය 2017 සැප්තැම්බර් අබුඩාබි

 

රංගනගේ මේ කඩුලු සංග්‍රාමයේ දී වැඩිම කඩුලු ප්‍රමාණයක් ගොදුරු කරගෙන ඇත්තේ පාකිස්තාන ක්‍රීඩකයන් වීම ද කැපී පෙණේ. ඉහත වගුව අනුව ද සුවිශේෂී අවස්ථාවන් 9න් 4ක් ම පාකිස්තාන ක්‍රීඩකයන්ට වෙන් වෙද්දී දවාගත් කඩුලු 400න් 101ක් ම පාකිස්තාන ක්‍රීඩකයෝ වීම ද සුවිශේෂී ය. (වගුව අංක 2) පාකිස්තානයට එරෙහිව කඩුලු 100ක් වාර්තා කළ එක ම ක්‍රීඩකයා වන්නේ ද රංගන ය.

එමෙන් ම රංගනගේ පන්දු යැවීමේ දී අඩුම තරග ප්‍රමාණයකින් වැඩිම කඩුලු ප්‍රමාණයක් ගොදුරු කර ගත් කණ්ඩයම බවට පත්වන්නේ සිම්බාබ්වේයි. ඔවුන්ට එරෙහිව රංගන ක්‍රීඩා කළ තරග 3ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 30කි.

රංගනගේ මේ කඩුලු සංග්‍රාමයේ තම දඩබිමේ දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 263කි. ඒ තරග 46ක්, ඉනිම් 86ක දී පන්දුවාර 2255.5ක් යවමිනි. නොඉඳුල් පන්දුවාර 449ක් සමඟින් ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව 6231කි.

ක්‍රිකට් තාක්ෂණයේ අ(න)වශ්‍යතාවය

පන්දුව පිත්තේ වදින මොහොත තෙක් තීක්ෂණව නිරීක්ෂණය කරන අරවින්දගේ ග්ලාන්ස් කිරීම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් …

ඔහු වැඩියෙන් ම කඩුලු ලබා ඇත්තේ තම මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම ය. ඒ තරග 17කට සහභාගී වෙමින් කඩුලු 94ක් ලබා ගනිමිනි. ඔහුගේ එම ලැයිස්තුවේ ඊළඟ ස්ථානය හිමි ව ඇත්තේ එස්. එස්. සී. ක්‍රීඩාංගණයට ය. ඒ තරග 13ක දී කඩුලු 77ක් ලබා ගනිමිනි. තෙවැනි ස්ථානය තරග 8ක දී කඩුලු 41ක් ලබා ඇති පී. සරා ඕවල් ක්‍රීඩාංගණයට හිමි වේ. අනෙකුත් ක්‍රීඩාංගණ වන කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරග 4කට සහභාගී වී කඩුලු 30ක් ද, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරග 3කට සහභාගී වී කඩුලු 20ක් ද සහ අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී එක් කඩුල්ලක් ද ලෙසිනි.

ඒ අනුව රංගනගේ විදෙස් දඩයක්කාරකම කඩුලු 137කි. එහි දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගැනීම වාර්තා වන්නේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ දී ය. එහි දී තරග 7කට සහභාගී වී ඇති රංගන ලකුණු 1005කට කඩුලු 35ක් දවා ගන්නේ ය. එහි දෙවැනි ස්ථානය එංගලන්තයටත් (21 ) තෙවැනි ස්ථානය සිම්බාබ්වේටත් ( 19 ) හිමි වන්නේ ය.

අවාසනාව වන්නේ ක්‍රීඩා කරන ලද සෑම රටකට ම එරෙහි ව කඩුලු ලබා ගත්ත ද රංගනට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එරට දී කිසිදු කඩුල්ලක් මේ දක්වා ලබා ගැනීමට නොහැකි වීමයි. ඔහුගේ එරට පන්දු යැවීම වාර්තා වන්නේ පන්දුවාර 47ක්, නොඉඳුල් පන්දුවාර 13ක්, ලකුණු 99ක් සහ කඩුලු 0ක් ලෙසිනි. ඒ එක් තරගයකට සහභාගී වෙමින් ඉනිම දෙකේ දී ම ය.

රට කාලය තරග ඉනිම් පන්දුවාර නොඉඳුල් ලකුණු කඩුලු
පාකිස්තානය 2000-2017 20 38 1053.1 224 2835 101
ඕස්ට්‍රේලියාව 1999-2016 11 19 522.3 101 1494 66
බංග්ලාදේශය 2005-2017 8 16 323.5 59 928 41
එංගලන්තය 2011-2016 10 17 448.5 71 1294 40
නවසීලන්තය 2005-2015 7 14 362.5 61 999 36
ඉන්දියාව 2009-2017 9 15 441.4 49 1471 32
ද. අප්‍රිකාව 2004-2017 9 15 408.4 103 981 31
සිම්බාබ්වේ 2016-2017 3 6 187.1 37 536 30
බ.ඉ. කොදෙව් 2005-2015 7 13 223.5 47 590 23

 

රංගනගේ මේ කඩුලු දඩයමේ දී වැඩි වශයෙන් ම දැවී ගොස් ඇත්තේ දකුණත් පිතිකරුවෝ ය. එම සංඛ්‍යාව 314කි. වමත් පිතිකරුවන්ගේ ප්‍රමාණය 86කි. වැඩියෙන් ම ඉලක්කය වී තිබෙන්නේ උඩ පන්දු රැකීමයි. එය සංඛ්‍යාත්මක ව 190කි. ඉන් උඩ පන්දු 38ක් කඩුල්ල පිටුපස සිට රැක ගත් ඒවා ය. එමෙන් ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර දවාගත් කඩුලු ප්‍රමාණය 101ක් ලෙසත් පන්දුව කෙලින් ම කඩුල්ලට යොමු කරමින් දවාගත් කඩුලු ප්‍රමාණය 77ක් ලෙසත් සහ කඩුලු රකින්නා විසින් කඩුල්ල කඩා දැමීමෙන් දවා ගත් අවස්ථා 32ක් ද ඊට අයත් ය.

රංගන මොකද කරන්නේ?

ලෝක ටෙස්ට් වමත් දඟයන් අතුරින් වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ හෙලා ඇති රංගන හේරත් කඩුලු ලබා ගැනීම සඳහා …

රංගනගේ කඩුලු සංග්‍රාමයේ වැඩියෙන් ම ගොදුරු වී ඇත්තේ පාකිස්තානුවන් වීම සේ ම වැඩිම වාරයක් ගොදුරු වී තිබීමේ කරුමයට මුහුණ දී සිටින්නේ ද ඔවුන් ම ය. එකී ලැයිස්තුව පළමු වැනියාගේ සිට හය වැනියා දක්වා ම වේ. පළමු වැනියා ලෙස සටහන් වන්නේ මිස්බා උල් හක් ය. ඔහු අවස්ථා 9ක දී රංගනට ගොදුරු වී ඇත. එමෙන් ම අසාද් ශෆීක් සහ අසාර් අලි ද 9 වතාවක් බැගින් රංගනට ගොදුරු වී ඇත.

ඊට අමතරව යුනිස් ඛාන් ( 8 ) උමාර් ගුල් ( 6 ) සහ මොහොමඩ් යුසුෆ් ( 6 ) මේ ලැයිස්තුවේ ඉහළින් ම සිටිති.

වමත් පන්දු යවන්නන්ගේ පළමු වැනියා විම

වමත් දඟපන්දු යවන්නන් අතුරින් වසර ගණනාවක් පුරා ලොව පළමුවැනියා වී සිටියේ නවසීලන්ත ක්‍රීඩක ඩැනියෙල් විටෝරි ය. ඒ තරග 113කට සහභාගී වෙමින් ලබා සිටි කඩුලු 362 හේතුවෙනි. මෙම වාර්තාව රංගන අභිබවා යන්නේ මේ වසරේ මාර්තු මාසයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී  බංග්ලාදේශ ක්‍රීඩක ටස්කින් අහමඩ්ගේ කඩුල්ල දවා ගනිමිනි. ඒ අනුව ඩැනියෙල් විටෝරි විසින් අණසක පැතිර වූ වමත් දඟ පන්දු යවන්නන්ගේ කඩුලු ලැයිස්තුවේ පළමු තැන වසර තුනක ඇවෑමකින් රංගන දිනා ගන්නේ ය.

එතැන් සිට ලබා ගන්නා සෑම කඩුල්ලක් ම රංගන ඉදිරියේ ලියැවෙන්නේ වාර්තාවන් සේ ය.

වර්තමානයේ ක්‍රිකට් පිටියේ සජීවීව සිටින පන්දු යවන්නන් අතුරින් රංගන දෙවැනි තැන අල්ලා ගෙන සිටී. එහි පළමු ස්ථානයේ සිටින්නේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් ය. ඔහු මේ දක්වා තරග 129කට සහභාගී වෙමින් දකුණතින් වේගපන්දු යවමින් කඩුලු 506ක් ලබා සිටී. දඟපන්දු යවන්නන් අතුරින් මේ ලැයිස්තුවේ රංගනට පිටුපසින් ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සිටී. දකුණතින් පිට දඟ පන්දු යවන අශ්වින් තරග 52ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 292කි. කෙසේ වෙතත් වමත් දඟපන්දු යවන්නන් අතුරින් රංගනට දෙවැනි වී ඇත්තේ සකීබ් අල් හසන් ය. 30 හැවිරිදි සකීබ් මේ වන විට තරග 51කට සහභාගී වෙමින් ලබා ඇත්තේ කඩුලු 188කි.

මේ දක්ෂතා අනුව රංගනගේ කඩුලු සංග්‍රාමය මේ වන විට හුදකලා බවක් උසුලන අයුරක් ද පෙනෙන්නට තිබේ. ඔහුට ආසන්නයේ සිටින කිසිදු දඟ පන්දු යවන්නෙක්ට තවත් වසර ගණනාවක් යනතෙක් ඔහුගේ ආසන්නයටවත් පිවිසිය නොහැකි ය. එබැවින් රංගනගේ වර්තමාන කඩුලු දඩයම අනාගතයේ දී අපිට මීටත් වඩා දේවල් සටහන් තැබීමට ඉඩ හසර විවර කරනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<