2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්ව ලෝක වාර්තාවක් සමඟ ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පළමු පැරාලිම්පික් රන් පදක්කම දිනා දෙන්නට දිනේෂ් ප්‍රියන්ත අද (30) සමත් වුනා.

F46 කාණ්ඩයෙන් තරග බිමට පිවිසි දිනේෂ් පළමු උත්සහයේ දී මීටර් 62.58ක දුරක් වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳම කාලය පසු කළ අතර දෙවැනි උත්සාහයේ දී ඔහු මීටර් 62.19ක දුරක් වාර්තා කරන්නට සමත් වුනා.

Dinesh Priyantha

තෙවැනි උත්සහයේ දී සිය ඉහළම රිද්මයට පැමිණි දිනේෂ් මීටර් 67.79ක දුරක් වාර්තා කරමින් එම කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා. එම ඉසව්වේ මීට පෙර ලෝක වාර්තාව දැක්වුනේ මීටර් 63.97ක් ලෙසයි.

ඒ සමඟින් දිනේෂ් තරගයේ වැඩි ආධිපත්‍යක් රඳවා ගැනීමට සමත් වූ අතර ඔහු සිය සිව්වැනි උත්සහයේ දී වාර්තා කළ දුර මීටර් 62.06ක් ලෙස දැක්වුණා.

>> පැරාලිම්පික් තෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

දිනේෂ්ගේ පස්වැනි උත්සහය නීති විරෝධී විසිකිරීමක් වූ අතර ඔහු හයවැනි අවස්ථාව ලබා ගැනීමෙන් වැළකී සිටියා.

ඒ අනුව සම්පූර්ණ වට හය අවසානයේ මීටර් 67.79ක දුරක් වාර්තා කරමින් එම කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් සමත් වුනේ දෙවැනි ස්ථානය ලබා ගත් ක්‍රීඩකයා සමඟ මීටර් 3ක පරතරයක් තබාගෙන වීම විශේෂත්වයක්.

Dinesh Priyantha

මෙම ඉසව්වේ රිදී පදක්කම මීටර් 64.35ක දුරක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩක Devendra විසින් දිනා ගත් අතර මීටර් 64.01ක දක්ෂතාවක් දැක්වූ ඉන්දීය ක්‍රීඩක Sundar Singh Gurjar හට ලෝකඩ පදක්කම හිමි වුනා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරා තරග පිටියේ ඉහළ දස්කම් දැක්වූ දිනේෂ් ප්‍රියන්ත 2016 පැරාලිම්පික් උළෙලේ දී මීටර් 58.23ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම 2019 වසරේ ඩුබායි හිදී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 69.93ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා දීමට ද ඔහුට හැකි වුනා.

ඔහුට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමිත දුලාන් සහ සම්පත් හෙට්ටිආරච්චි තරග බිමට පිවිසියේ අද (30) සවස් වරුවේයි. ඔවුන් නියෝජනය කළේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම අවසන් තරගයයි.

සමිත F64 කාණ්ඩයේ අවසාන තරගය නියෝජනය කළත් ඔහු අයත් වූයේ F44 (එක් පාදයක් දණහිසට පහළින් අහිමි හෝ ඒ සමාන ආබාධයක්) කාණ්ඩයටයි.

ඔහු සිය පළමු උත්සහයේ දී මීටර් 62.11ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වුනා.

දෙවැනි අවස්ථාවේ දී මදක් පසුබසිමින් මීටර් 59.81ක දස්කමක් දැක්වූ සමිත තෙවැනි අවස්ථාවේ දී මීටර් 63.49ක දස්කමක් දැක්වුවා. සිව්වැනි අවස්ථාවේ දී මීටර් 65.61ක දුරක් වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාවය නැවත වරක් අලුත් කිරීමට ඔහුට හැකි වුනා.

එම දක්ෂතාවය ඔහු මුළු ඉසව්ව පුරාවට දැක්වූ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර එය F64 අවසන් වටයේ තෙවනුවට හොඳම දස්කම ද වුනා.

ඒ සමඟ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමිතට හැකි වුනේ අද දිනයේ දෙවැනි පැරාලිම්පික් පදක්කම ද ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

F64 කාණ්ඩයෙන් තරගයට එක්වූ සම්පත් හෙට්ටිආරච්චි සිය පළමු අවස්ථාවේ දී මීටර් 49.94ක් සහ දෙවැනි අවස්ථාවේ දී මීටර් 48.34ක දක්ෂතාවයක් වාර්තා කිරීමට සමත් වුනා.

මීටර් 49.21ක දුරක් සිය තෙවැනි වටයේ දී වාර්තා කළ සම්පත් ඉන්පසු ඔහු සිය අවස්ථා ලබා ගැනීමෙන් වැළකී සිටියා.

ඒ අනුව අවසාන ප්‍රතිඵලවලට අනුව මීටර් 49.94ක හොඳම දක්ෂතාවය දක්වමින් නවවැනි ස්ථානය දිනා ගැනීමට සම්පත්ට හැකි වුනා.

ලෝක වාර්තාවක් ඉදිරියේ ශ්‍රී ලංකා නාමය සටහන් කරමින් මෙරටට පළමු පැරා රන් පදක්කම් දිනා දෙමින් ලක් මාතාව ලෝකය ඉදිරියේ බැබළවූ දිනේෂ් ප්‍රියන්තට සහ ලෝකඩ පදක්කමක් ලක් මාතාවට දිනා දුන් සමිත දුලාන් හට ThePapare.com අපේ උත්තමාචාරය. 

 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙට (31) කුමුදු ප්‍රියාංකා තරග බිමට පිවිසීමට නියමිතයි.

2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<