අසේලගෙන් චන්දිමාල්ට පොරොන්දුවක්

492

අසේල ගුණරත්න ඉනිම අවසන් කරන්නෙකු වශයෙන් දක්වන දක්‍ෂතාවය නැවතත් අද (18) අවසන් වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගයේ දී මැනෙවින් ප්‍රදර්ශනය කළේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 151ක දී ලකුණු 80ක් නොදැවී ලබා ගනිමින් කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 5 වන ඉහළම ලකුණු හඹා යාම වෙත මෙහෙයවීමත් සමඟයි.

ආසියාවේ විශිෂ්ටතම හඹා යෑම සමඟින් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්!

ගෙවුණු වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවූ වැදගත්ම ක්‍රීඩකයෙකු ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ සුපිරි …

අසේලගේ දක්‍ෂතා ප්‍රථම වරට ප්‍රේක්ෂකයින් හට දැක ගත හැකි වූයේ මෙම වසරේ මුල භාගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ගීලොන්ග් හිදී පැවති පන්දුවාර 20 තරගයේ දීය. එහි දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ලකුණු 84ක් ලබාගනිමින් කණ්ඩායම තරගාවලි ජයග්‍රහණයක් කරා මෙහෙය වන්නට සමත් විය. ඉන් අනතුරුව ද පසුගිය මාසයේ දී පැවති ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ද ඉන්දියානු කණ්ඩායමට එරෙහි තරගයේ දී ඔහුගේ දක්ෂතාවන් මැනෙවින් ප්‍රදර්ශනය විය.

“මම අද උදේ අසේලට පැවසුවා ඔහු අද ශතකයක් රැස්කරනවා කියලා. නමුත් එවිට ඔහු ඉතා විශ්වාසයෙන් මට කිව්වා, නෑ චන්දි. අද මට 100ක් ගහන්න උවමනාවක් වෙන එකක් නැහැ. මම ලකුණු 70කට වඩා නොදැවී ගහලා තරගය ජයග්‍රහණය කරනවා කියලා. ඒ වගේ විශ්වාසයක් තමයි මම මගේ ක්‍රීඩකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. අද ඔහුට එය කරන්න අවස්ථාවක් නොලැබෙන්නත් තිබුණා. නමුත් ඔහු කතා කරපු විදිහෙන් නායකයෙක් විදිහට මට ලොකු විශ්වාසයක් ආවා අපි අද තරගය ජය ගනියි කියලා. ඒක ගොඩක් වැදගත් දෙයක්. ඒ නිසා ඒ වගේ ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටීම මට ලොකු සතුටක්.”

අසේල අද උදෑසන ලබා දුන් පොරොන්දුව ගැන පවසමින් චන්දිමාල් එසේ කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කරමින් ලබාගත් ලකුණු 391/6, ආසියාවේ දී කණ්ඩායමක් සාර්ථකව හඹාගොස් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉන්දියානු කණ්ඩායමයි. ඒ ඔවුන් 2008 වසරේ දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 387යි. එමෙන්ම මීට පෙර ශ්‍රී ලංකාවේ දී සාර්ථකව හඹාගිය වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 2015 වසරේ දී පල්ලෙකැලේ දී ලබාගත් ලකුණු 377 යි.

කණ්ඩායමේ නායකත්වයට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් පවසා සිටියේ,

“සිම්බාබ්වේ කණ්ඩායම තරගය ජය ගන්න ගොඩක් උත්සාහ කළා. ඒ නිසා අපිට තරගය ජයග්‍රහණය කරන එක ලේසි වුණේ නැහැ. ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන කොට කණ්ඩායමක් විදිහට අපිට දවස් පහ තුළ ගොඩක් වැරදි කරන්න බැහැ. සමහර අවස්ථාවල දී අපි හොඳින් ක්‍රීඩා කරනවා වගේම තවත් අවස්ථාවල දී හොඳින් ක්‍රීඩා කරන්නේ නැහැ. කෙසේ නමුත් අපේ අවසන් ඉලක්කය වුණේ තරගය ජයග්‍රහණය කරන එක. ඒ නිසා කණ්ඩායමේ නායකයා විදිහට තරගයේ ප්‍රතිඵලය ගැන මම සතුටට පත්වෙනවා. අපේ සැලසුම වුණේ සාමාන්‍ය පරිදි ක්‍රීඩා කරමින් තරගය ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන්න. මොකද අපි තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්න ක්‍රීඩා කළා නම් සමහර විට අපි තරගය පරාජය වෙන්නත් ඉඩ තිබ්බා. මම කණ්ඩායමට පවසා සිටියේ වෙන වැරදිවලට එතරම් බය වෙන්න එපා. ප්‍රතිඵලය මොකක් වුනත් ඒකෙ වගකීම මම බාර ගන්නවා කියලා. කුසල් මෙන්ඩිස්, දිමුත් සහ උපුල් මුලින් හොඳට ක්‍රීඩා කළා. අනතුරුව තරගයේ අවසානයේ දී අසේල සහ දික්වැල්ල ක්‍රීඩා කරපු ආකාරය විශිෂ්ටයි.”

ඊයේ දිනය අවසන් වන විට පිටියේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් දැවී යාමෙන් අනතුරුව අසේල සහ දික්වැල්ල 6 වන කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයට රැගෙන එන්නට ඔවුන් සමත් විය.

“පිටියට ආපු වෙලේ ඉඳන් ඔහු මට පැවසුවේ, මාත් එක්ක හැමවෙලේම කතා කරලා මාව ලකුණු ගහන්න යොමු කරන්න කියලා. මම හිතන්නේ ඔහු ඒකෙන් අදහස් කළේ ඔහුව ඒ අවස්ථාවට හරි යන විදිහට ක්‍රීඩා කරන්න යොමු කරන්න කියලා. මොකද ඒ වන විට ඔහු ලොකු ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරලා තිබුණේ නැතත් මම ක්‍රීඩා කරලා තිබුණා. සමහර වෙලාවට තරගය යද්දී ඔහුට අවශ්‍ය වුනා මම ඔහුට උපදෙස් දෙන එක. සමහර අවස්ථාවල දී මම ඔහුට පවසා සිටියා සමහර පහරවල් එල්ල කරන්න එපා කියලා. අන්තිමේ දී ඔහු හොඳ ඉනිමක් ක්‍රීඩා කළා.”

දික්වැල්ල පන්දු 118ක දී ලකුණු 81ක් රැස්කර ගනිමින් ඔහු සමඟ ගොඩනැගූ සබඳතාව පිළිබඳව අදහස් දක්වමින් අසේල එසේ පැවසීය.

අසේල තරගයේ පළමු ඉනිමේ සිටම පාදයේ සුළු ආබාධයකින් පීඩා විඳි අතර ඒ හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවන ඉනිමේ දී පන්දු රැකීමට ද නොහැකි විය. එමනිසා ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ දී අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන ඉන්දියානු කණ්ඩායමට එරෙහි තරගාවලියට සූදානම් වීමේ දී අතිශය වැදගත් වනු ඇත.

“ඒක ලොකු ආබාධයක් නෙමෙයි. මට පොඩි අපහසුතාවයක් තිබුණේ. තත්වය එතරම් බරපතළ නැහැ කියලා භෞතචිකිත්සකවරයාත් කිව්වා. ඒ නිසා මම පන්දුවට පහර දෙන්න සූදානමෙන් සිටියේ. මම ඔවුන්ගේ දෙවන ඉනිමේ දී පන්දු රැක්කේ නැහැ. මට පන්දු යවන්න බැරි වුන එකත් ලොකු පාඩුවක් වුනා.”

අසේල පවසා සිටියේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

“මගේ එකම ඉලක්කය වුණේ විවේකීව ඉඳලා කණ්ඩායම ජයග්‍රහණයට ගෙනි යන එක. ඒ වගේම ඉදිරියේ දී විවේකීව ඉන්න දවස් කිහිපයක්ම තිබෙනවා. ඒ නිසා ඉතිරි දවස් 2, 3ක කාලය මම විවේකීව ඉන්නවා. එතකොට ඉන්දියානු තරගාවලියට ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි.”

කණ්ඩායමට පැමිණ ඉතා කෙටි කාලයකින් ඔහුගේ තුන් ඉරියව් දක්‍ෂතා නිසා කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කර ගැනීමට අසේල සමත්ව ඇත. එමෙන්ම ඔහු පසුගිය කාලයේ දී අවශ්‍ය අවස්ථාවල දී කණ්ඩායම වෙනුවෙන් වැදගත් කඩුලු දවා ගන්නට ද සමත් විය. ඔහුගේ පන්දු යැවීමේ කුසලතාවන් ශ්‍රී ලංකා කණ්ඩායමට පස්වන පන්දු යවන්නෙකු සැපයීමට සමත්ව ඇත.

“මම කණ්ඩායමේ නායකයා මගෙන් බලාපොරොත්තු වෙන ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි. උදාහරණයක් විදිහට මෙම තරගයේ දී, කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනා වන රංගන සහ දිල්රුවන් හට කඩුලු නොලැබෙද්දී මම කඩුල්ලක් ලබා ගැනීම අවශ්‍ය වුනා. මාව කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙක් විදිහට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවශ්‍ය අවස්ථාවල දී කඩුලු ලබා ගැනීමට මාව අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම මම පුහුණුවීම්වල දී ගොඩක් පිතිකරණයේ නිරත වෙනවා. ඒ වගේම පන්දු යැවීමේත් නිරත වෙනවා. පන්දු යැවීමේ දී අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න මට පා දඟපන්දු යවන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී හොඳ පන්දු යවන්නෙක් වෙන්න.”

අසේල තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ ය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට