Akramගේ ප්‍රකාශයට Ramiz Rajaගෙන් උපහාසාත්මක පිළිතුරක්

4378

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Ramiz Raja සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පසුගිය දා හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක Wasim Akram පවසා තිබුණා.

මේ පිළිබඳව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී වාර්තාකරුවෙකු විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා වන Ramiz Rajaගෙන් විමසා සිටියා.

Ramiz Raja පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමත් සමඟ පාකිස්තාන ක්‍රිකට් ආයතනය එරට ප්‍රේක්ෂකයන් හට විශාල පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ධනාත්මක වෙනසක් ගෙන ඒම ගැන බොහෝ දෙනෙක් හිටපු පාකිස්තාන පිතිකරු Ramiz Rajaට ප්‍රශංසා කර ඇති අතර ඔහුට විරුද්ධ වූ කීපදෙනෙක් ද දක්නට ලැබුණා. ඉන් එක් අයෙක් වූයේ ජනප්‍රිය Wasim Akram.

Wasim Akram Ramiz Raja පිළිබඳව විවෘතව විවේචනය කර නැතත්, ඔහු තම හිටපු පාකිස්තාන සගයාගේ අදහස් සමඟ සම්පූර්ණයෙන්ම එකඟ විය නොහැකි බවට සියුම් ඉඟි පලකර තිබුණා. පසුගිය දා පැවති පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර විස්සයි විස්ස තරගය සඳහා ප්‍රේක්ෂක පැමිණීම එතරම් ඉහළ මට්ටමක නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් ද Akram වක්‍රව Ramiz Raja වෙත ඇඟිල්ල දිගු කරමින් අදහස් දක්වා සිටියා.

පසුගිය මාසයේ පාකිස්තාන කණ්ඩායම දැක්වූ දස්කම්වලින් පස්සේ පාකිස්තාන කොදෙව් තරගය සඳහා කරච්චි හි හිස් ක්‍රීඩාංගණයක් දැකීම ගැන ඇදහිය නොහැකි තරම් කණගාටුදායක දෙයක්. මට හොඳටම විශ්වාසයි ඒ ඇයි කියලා. නමුත් මට ඔබෙන් අහන්න ඕනේ! මට කියන්න, ප්‍රේක්ෂකයන් නැත්තේ ඇයි?”, Wasim Akram Twitter පණිවිඩයකින් පවසා තිබුණා. එහි දී ඔහු ‘ඔබ’ යනුවෙන් ආමන්ත්‍රණය කර තිබුණේ Ramiz Raja බව බොහෝ දෙනෙකු අදහස් දක්වා සිටියා.

එළඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ ගිවිසුම් ප්‍රවර්ධනය කිරීම හෝ අඩු කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න මාධ්‍ය වාර්තාකරුවෙකු විසින් හිටපු පාකිස්තාන නායකයාගෙන් විමසූ විට Wasim Akram එයට වගකිව යුත්තේ Ramiz Raja බව පවසා තිබුණා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා විවිධ කාණ්ඩ යටතේ කෙටුම්පත් කරන ලද ක්‍රීඩකයින් සිටින අතර එයට දියමන්ති, රන් සහ රිදී ලෙස කාණ්ඩ ඇතුළත් වනවා.

පාකිස්තාන කණ්ඩායමේ හිටපු ක්‍රීඩක Kamran Akmal සිය කාණ්ඩය අඩුම කාණ්ඩයට පහත හෙළීම අසාධාරණ බව පවසමින් පසුගිය දා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Wasim Akram පවසා සිටියේ එක් එක් ක්‍රීඩකයන්ගේ කාණ්ඩ පිළිබඳව අවසන් තීරණය ලබා දෙන්නේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය මිස අදාළ කණ්ඩායම් නොවන බවයි.

​”ක්‍රීඩකයන්​ උසස්​ කිරීම හෝ ​පහත හෙළීම සඳහා ඇමතුමක් ලබා දුන්නේ Ramiz Raja බව අපට ආරංචි වෙලා තියනවා”, Wasim Akram මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියා.

මම ස්ථීරවම දන්නේ නැහැ ඒ ගැන. නමුත් බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන්. පාකිස්තාන ක්‍රිකට් ආයතනය කියන්නේ Ramizට. ඒ නිසා බොහෝ දුරට ඒක වෙන්න පුළුවන්”, Wasim Akram පවසා සිටියා.

කෙසේ වෙතත් Wasim Akramගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් Ramiz Raja මෑතක දී පැවති මාධ්‍ය හමුවක දී උපහාසාත්මක පිළිතුරක් ලබා දී තිබුණා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය කියන්නේ Ramiz Raja යන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Ramiz Raja පවසා සිටියේ “ඒ ගැන පිළිතුරු දෙකක් නැහැ. ඔබට ඇති වෙනත් ප්‍රශ්න මොනවා ද?”

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<