යොවුන් ආසියානු කුසලාන තරග කාලසටහනේ වෙනසක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

786

9 වන වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් හෙට (23) පැවැත්වෙන තරග අතරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක් ද ඇතුළත් කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

මීට පෙර පැවති තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනේ එළඹෙන 24 වැනිදා කුවේට් 19න් පහළ කණ්ඩායමට එරෙහිවයි.

කෙසේ වෙතත් සංශෝධිත නව තරග කාලසටහනට අනුව එම තරගය හෙට (23) දිනයේ දී පැවැත්වෙන අතර ඒ වෙනුවට, හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නේපාල තරගය අනිද්දා (24) දක්වා කල් දමා තිබෙනවා. කෙසේ නමුත් අනෙක් තරග සියල්ලම පෙර සැලසුම් කර පරිදිම පැවැත්වෙන බව, එහි තරගාවලි සංවිධාකයින් පවසා සිටිනවා.

ඒ අනුව වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් A කාණ්ඩය යටතේ ඉන්දියාව සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානයත්, B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ කුවේට් කණ්ඩායම අතර තරග හෙට (23) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මූලික වටයේ දී ක්‍රීඩා කරන තරග තුනම සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර මේ තරග කාලසටහන වෙනස් වීම පිළිබඳව ආසියානු ක්‍රිකට් ආයතනය සිය නිල Twitter ගිණුමේ සටහනක් ද තබා තිබුනා.

සංශෝධිත නව තරග කාලසටහන

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<