ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට අලුත් Fitness කඩඉමක්

3672

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 වසර ආරම්භයේ සිට ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම තරමක් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට කොන්ත්‍රාත්ගත වී සිටින ක්‍රීඩකයින් 60 දෙනා කිලෝමීටර් දෙකක දුරක් මිනිත්තු 8කුත් තත්පර 10ක් කාලයක් ඇතුළත සම්පූර්ණ කළ යුතු වෙනවා.

මීට පෙර තිබූ පරිසාධන මට්ටම් අනුව මිනිත්තු 8කුත් තත්පර 35ක කාලය තුල කිලෝමීටර් දෙකක දුර සම්පූර්ණ කළේ නම් එම ක්‍රීඩකයා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වුනු ක්‍රීඩකයෙක් ලෙස සැලකුණා.

ඊට අමතරව skin-fold test පරීක්ෂණයේ පරිසාධන මට්ටම වී තිබුණු ලකුණු 80 මට්ටම ලකුණු 70 දක්වා ලකුණු 10කින් අඩු කර ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බලන පරිසාධන සීමා ඉහළ දමා තිබෙනවා.

එළඹෙන ජනවාරි 7 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැනට කොන්ත්‍රාත්ගත වී සිටින ක්‍රීඩකයින් වෙත ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සිදු කරන බව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ශාරීරික කාර්ය සාධන ඒකකය විසින් දැනුම්වත් කර තිබෙන බව ද වාර්තා වෙනවා.

“ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් අපට ක්‍රීඩකයන්ට වදයක් වෙන්න අවශ්‍ය නැහැ. ගෙවී යන සෑම දිනකම ඒවා වැඩිදියුණු කිරීමයි අපිට අවශ්‍ය වන්නේ, ඒ සඳහා අපි නව පරිසාධන මට්ටම් හඳුන්වා දී තිබෙනවා. අපි ඔවුන්ගේ දක්ෂතා අනුව තමයි තේරීම කරන්නේ ඒ වගේම ඔහු ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්නවා ද කියන එක අපි මැන බලන්නේ ශාරීරික යෝග්‍යතාවයෙන්”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ Sunday Times වෙත පවසා තිබෙනවා.

කාර්ය සාධනය පදනම් කර ගත් කොන්ත්‍රාත්තු සඳහා යෝග්‍යතා නිර්ණායකයක් හඳුන්වා දීමත් සමඟ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ යෝග්‍යතා මට්ටම් පසුගිය මාස කිහිපය තුළ විශාල ලෙස වැඩිදියුණු වී තිබෙනවා.

එසේම, ඕනෑම ජාතික, ‘A’ කණ්ඩායමක් හෝ වයස අවුරුදු 19න් පහළ සංචිත සඳහා තේරීම් කමිටුව විසින් ඉහත සඳහන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වීම අනිවාර්ය කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<