සිංහ පෝතකයින් සුපිරි ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

4043
ACC

9 වැනි වරට පැවැත්වෙන 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වුනා.

B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා සහ කුවේට් කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 274ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යෞවනයින්ට හැකි වුනා.

Sharjah හිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – ශෙවෝන් ඩැනියල්, චමිඳු වික්‍රමසිංහ, සදීෂ රාජපක්ෂ, පවන් පතිරාජ, රනුද සෝමරත්න, දුනිත් වෙල්ලාලගේ (නායක), රවීන් ද සිල්වා, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), යසුරු රොද්‍රිගෝ, වනුජ සහන්, මතීෂ පතිරණ

කුවේට්Meet Bhavsar (නායක/කඩුලු රකින්නා), Jude Saldanha, Muhammad Umar, Abdul Sadiq, Abdullah Zaheer, Sharyn Hill, Abdullah Farooq, Hilda Hills, Zeeshan Azeem, Mirza Ahmed, Habier Ali

වමතින් පිතිකරණයේ නිරත වන පවන් පතිරාජ, රනුද සෝමරත්න, ශෙවෝන් ඩැනියල් සහ චමිඳු වික්‍රමසිංහ අර්ධ ශතක ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුම දෙනා පාහේ ඉතාමත් හොඳ රිද්මයකින් ලකුණු අතරට පිවිසියේ තරගාවලිය සඳහා හොඳ ආරම්භයක් ලබාගෙනයි.

අවසානයේ දී ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 325ක දැවැන්ත ලකුණක් ලබා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ඩැනියල් සහ වික්‍රමසිංහ පළමු කඩුල්ල සඳහා පන්දු 104ක දී ලකුණු 91ක සබඳතාවයක් සෙමින් සීරුවේ ගොඩනංවමින් දැවැන්ත ලකුණක් වෙත යාම සඳහා අවශ්‍ය වුනු අඩිතාලම සකස් කළා.

ඩැනියල් සහ වික්‍රමසිංහ දෙදෙනාම ලකුණු 54 බැගින් ලබාගෙන පිටියෙන් ඉවත්ව ගිය පසුබිමක පිටියට පැමිණි පතිරාජ සිය ලකුණු ලබා ගැනීමේ රිද්මය තවදුරටත් පවත්වා ගෙන යමින් පන්දු 72ක දී අගනා ලකුණු 86ක් ලබා ගන්නට සමත් වුනා.

18 හැවිරිදි පතිරාජ මේ තරගය ද ඇතුලත්ව දැනට යොවුන් එක්දින තරග 9ක් ක්‍රීඩා කර තිබෙන අතර එහි දී අර්ධ ශතක 3ක් සහ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වීමට සමත් වී තිබීම සුවිශේෂී වෙනවා.

සෙමින් සීරුවේ සිය ඉනිම ගොඩනැංවූ පතිරාජ අවසානයේ තරමක වේගයකින් යුතුව පන්දුවට පහර දුන් අතර ඔහුගේ ඉනිමට 4 පහර 11ක් ඇතුළත් වුනා. සිය සුපිරි ඉනිම සඳහා අකමැත්තෙන් වුවත් තිත තැබීමට සිදු වන විට පතිරාජගේ ප්‍රහාරාත්මක වේගය 119.44ක් ලෙස සටහන් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය ගොඩනැංවූ පතිරාජ සහ සෝමරත්න 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 114ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවූවා. ඒ සඳහා ඔවුන් දෙදෙනාට වැය වුනේ පන්දු 94ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ නිමාව සටහන් වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි රනුද 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමඟ පන්දු 57ක දී ලකුණු 60*ක් ලබා සිටියා. රාජපක්ෂ සහ නායක වෙල්ලාලගේ පිළිවෙළින් ලකුණු 35ක් සහ ලකුණු 19ක් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු සටහන වර්ධනය කරවීම සඳහා සහාය ලබා දුන්නා.

කුවේට් පන්දු යවන්නන් සඳහා අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට එරෙහිව යම් මට්ටමින් හෝ අභියෝගයක් ලබා දුන් Zeeshan Azeem සහ Habier Ali කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 326ක දැවැන්ත ලකුණක් හඹා යාමේ පීඩනය ඇතිව ඉනිම ආරම්හ කළ කුවේට් ආරම්භක පිතිකරුවන් වුනු නායක Meet Bhavsar සහ Jude Saldanha දෙදනා පළමු කඩුල්ල සඳහා ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු 24ක දී 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යම් තරමකින් හෝ අභියෝයක් එල්ල කළ Bhavsarගේ ඉනිම ලකුණු 25කට සීමා කරන්නට දකුණතින් පිට දඟපන්දු යවන රාජපක්ෂ සමත් වුනා.

ඉන්පසුව කුවේට් කණ්ඩායමේ අවසන් කඩුලු 9 එක පෙළට දවා ගැනීමට නායක වෙල්ලාලගේ සහ රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනේ කුවේට් අවසන් කඩුලු 9 ලකුණු 18ක් තුල දවාගෙනයි.

වෙල්ලාලගේ විසින් ක්‍රියාත්මක කළ පන්දු 9 තුල ලකුණු දෙකකට කඩුලු 4ක් දවා ගත් අතර රාජපක්ෂ නිලකුණු පන්දුවාර 3ක් ද සමඟ ලකුණු 4කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව මතීෂ පතිරණ කඩුලු 2ක් තමන් සතු කරගැනීමට සමත් වුනා.

ලකුණු සාරාංශය,

ශ්‍රී ලංකාව – 325/5 (50): පවන් පතිරාජ 86, රනුද සෝමරත්න 60*, චමිඳු වික්‍රමසිංහ 54,  ශෙවෝන් ඩැනියල් 54, සදීෂ රාජපක්ෂ 35, දුනිත් වෙල්ලාලගේ 19, Zeeshan Azeem 2/49, Habier Ali 2/50.

කුවේට් – 49 (17.3): Meet Bhavsar 25, දුනිත් වෙල්ලාගේ 4/02, සදීෂ රාජපක්ෂ 3/04, මතීෂ පතිරණ 2/07.

ශ්‍රී ලංකා යෞවනයින් සහභාගී වන මීළඟ තරගය මේ මස 26 වැනිදා නේපාලය සමඟ Sharjah ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<