රාජකීයයන් සහ පීතරයන් ආරක්ෂිත රටාවකින් ගෝල උදුරාගනියි

204
Royal & St. Peter’s share the spoils in a cagey affair translation

සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනයේ 19න් පහල ප්‍රථම පෙල පාපන්දු තරඟාවලියේ පළමු  තරඟයේදී කොළඹ රාජකීය විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර තරඟය 2-2ක් ලෙස සම ලකුණු තත්වයකින් නිමාවට පත් විය.

පසුගිය ලිපි: ශූරතාවය බස්නාහිර සහ වයඹ පලාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

කණ්ඩායම් දෙකම ප්‍රථම හා දෙවන අර්ධයන් වලදී එක් ගෝලය බැගින් වාර්තා කළද  ඊට තවත් කිසිදු ගෝලයක් එක්කර ගැනීමට දෙපිලටම නොහැකිවීමෙන් සම සමව තරඟය අවසන් කිරීමට දෙපිලට සිදුවිය.

පෙර වසරේ පැවති දෙවන පෙල තරඟාවලියේ ශූරයන් වූ රාජකීය පිල මෙවරද පෙරලියක් කරන අදිටනින් උද්යෝගිමත්ව තරඟාවලියට අවතීර්ණ වූ අතර ඔවුන්ගේ මුල්ම එදිරිවාදීන් වූයේ පීතරයන්ය.

තරඟයේ ආරම්භය එතරම් උද්වේගකර නොවුණත් දෙපිලම එකිනෙකාට නොදෙවෙනිව තරඟයේ යෙදුනු අතර ඉන් මුලින්ම තරඟය තමා වෙතට නතුකරගනිමින් සාර්ථකත්වයට පැමිණියේ පීතරයන් ය.

මුල්භාගයේ පන්දුව හුවමාරු කරගැනීමේදී පන්දුව අනතුරුදායක ප්‍රදේශයෙන් ඈතට එල්ලකිරීම පමණක් කරන ලද රාජකීයයන්ගෙන් දිස්වූයේ සැලසුම් රහිත තරඟ ස්වභාවයකි.

නමුත් තරඟය ගලායන දිසාව වෙනස් කොට තරඟයට එළඹුණු රාජකීයයෝ මුලින්ම ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගත්හ. ඉදිරි පෙල ක්‍රීඩක නවීන් ජුඩ් තමාට ලැබුණු ඉඩකඩ මැනවින් භාවිතා කරමින් ගෝල සීමාවේ කෙලවර සිට එල්ල කළ පහර, ගුවනේ පාවී ගොස් ගෝල රකින්නාට නවතාගත නොහැකිවෙමින් දැල තුලට ඇතුළු විය. එතැන් සිට ක්‍රියාත්මක වු රාජකීයයෝ කෙමෙන් කෙමෙන් තරඟයට අවතීර්ණ වුවද ප්‍රථම භාගයේ වැඩි ගෞරවය තමා වෙතම තබාගන්නට පීතරයන්ට හැකිවිය.

ගෝල ලබාගැනීමට අවස්ථා කිහිපයක් ලැබුණද සාන්ත පීතර කණ්ඩායමේ ප්‍රහාරකයන්ගේ කලබල ස්වභාවය හේතුවෙන් ඒ අවස්ථා මඟහැරී ගියේය.

එහෙත් අනෙක් කණ්ඩායම වෙනුවෙන් නවීන් ජුඩ් තමාට ලැබෙන සෑම අවස්ථාවකම තර්ජනාත්මකව ඉදිරියට පන්දුව ගෙනගියේය. එවන් අවස්ථාවක ඔහු එල්ල කළ පහරකින් පන්දුව ගෝලයේ හරස් දණ්ඩේ පතිත වී යළි මිනිත්තු කිහිපයක් ඇතුළත චතුර අවිෂ්කගෙන් ලද නිදහස් පහර හිසෙන් ගෝලය වෙත හරවා යැවුවද එය පිටියේ සීමා උල්ලංගණය කිරීමක් ලෙස සටහන් විය.

පීතර ක්‍රීඩකයෙකුට නීති විරෝධී පා පහරක් එල්ල කළ චතුරට කහ කාඩ්පත නිකුත් කරනු ලැබිණි. එය ඔහුව පිටියෙන් ඉවත් කරන්නට තරම් සමා නොදියහැකි වරදක් වුවත් විනිශ්චයකරුගේ කාරුණිකභාවය හේතුවෙන් කහ කාඩ්පතින් පමණක් නවතින්නට ඔහුට ඉඩ ලැබිණි.

තරඟ විවේකයට මිනිත්තුවක් ඉතිරිව තිබියදී ලද නිදහස් පහරක් කෙලින්ම ගෝලය තුළ පතිත කරන්නට සාන්ත පීතර විදුහලේ ෂෙහාන් ලියනපතිරණ සමත්වීමත් සමඟ යළි තරඟයට අවතීර්ණවීමේ අවස්ථාව ඔවුනට උදාවිය. විවේකයට යනවිට මානසික අතින් එහි වාසිය හිමිව තිබුනේ පීතරයන්ටය.

ප්‍රථම අර්ධය: රාජකීය විද්‍යාලය 1 – 1 සාන්ත පීතර විද්‍යාලය

දෙවන භාගය ආරම්භයේදීම උද්යෝගිමත්ව සිටි පීතරයන් ගෝල රැස්කිරීමේ ආසන්නයට කිහිපවරක් පැමිණියේය. මැදපෙල ප්‍රහාරකයන්ගේ දිගු විදුම්වලින් ගෝලය රැකගැනීම අත්දැකීම් අඩු රාජකීය ගෝල රකින්නාට අපහසුවන අතරතුර පීතරයන් සාර්ථක විය. තරඟයේ 47වන මිනිත්තුවේදී ෂෙහාන් එල්ලකළ පහර හරිහැටි මැනගැනීමට වෙහෙසට පත්ව සිටි රාජකීය ගෝල රකින්නාට නොහැකිවීමත් සමඟම පීතරයන් 2-1ක් ලෙස තරඟයේ ඉදිරියට ගියේය.

එහෙත් අනෙක්පස සිට ඒ වාසිය මකාදමන්නට නවීන් ජුඩ් වග බලාගත්තේය. පිටියේ දකුණු අන්තයෙන් වේගයෙන් පන්දුව ආරක්ෂක පෙලින් ඇතුළට ගෙන ගිය ඔහු කෝසල හසන්ජිත්ට එය භාරකළ අතර ඉන් නිසි පලනෙලාගන්නට කෝසලට හැකිවිය.

අවසානයේ තරඟය උණුසුම් අවධියකට එළඹෙත්ම හිරුගේ උණුසුමින් පීඩිත වු ක්‍රීඩකයන් ආබාධ කිහිපයකට ලක්විය. දෙපිලේම ක්‍රීඩකයන් වෙහෙසට පත්වු බවක් පෙනුණු අතර ආබාධ හේතුවෙන් තරඟයේ ගලායෑම මඳින් මඳ නතර විය.

පසුව වාසනාවට ඉඩ පතමින් දිගුපහරවල්වලට ගිය මැදපෙල පීතරයන්ව සාර්ථකව වැලැක්වීමට රාජකීය පසුපෙල අත්දැකීම් සහිත චතුර සහ හසංග සමත්විය.

විනිසුරුගේ අවසන් සංඥාව ලැබෙන විට කණ්ඩායම් දෙකම ජය පරාජය බෙදාගත නොහැකිව සම තත්වයේ පසුවිය.

අවසන් ලකුණු – රාජකීය විද්‍යාලය 2-2 සාන්ත පීතර විද්‍යාලය

තරඟයේ වීරයා – නවීන් ජුඩ් (රාජකීය විද්‍යාලය.)

සාන්ත පීතර විද්‍යාලීය පුහුණුකරු ඉසුරු පෙරේරා ThePapare.com වෙත දැක්වූ අදහස්,

“ක්‍රීඩකයන්ට කණ්ඩායමක් හැටියට පුහුණුවෙන්නට සෑහෙන කාලයක් ලැබුණේ නැහැ. වසර අවසානයේ මෙවන් තරඟාවලියක් පැවැත්වීමේදී තරඟ සංවිධායකයින් සිතන්නට ඕනෙ මොවුන් සිසුන් බව සහ ඔවුනට වසර අවසාන විභාග ඇතිබව. ඒත් අප හොඳින් ක්‍රීඩා කරන්නට කරුණු සකසගත්තා. ශාරීරික යෝග්‍යතාවයන් සහ පෝෂණ මට්ටම් ගැන ගැටළු මතුවනවා. ඒත් මට විශ්වාසයි ක්‍රීඩකයන් මීට වඩා හොඳ තරග රටාවක් ප්‍රදර්ශනය  කරාවි කියලා.”

රාජකීය පුහුණුකරු අශෝක රවීන්ද්‍ර,

“කණ්ඩායම තවමත් අත්දැකීම්වලින් ඌනයි. ඒවගේම ඔවුන් තව ඉගෙන ගන්නවා. අප අත්හදාබැලීම් කිහිපයක් කළා. අපේ නිත්‍ය ගෝල රකින්නා නැතිකමත් අපට අඩුපාඩුවක් වුණා. ඒත් සියලු ගෞරවය ක්‍රීඩකයන්ට හිමිවෙනවා ඔවුන් තරඟය හොඳින් අවබෝධ කරගෙන ක්‍රීඩා කළා වගේම දියුණුවකුත් පෙන්නුවා. තරඟය රැකගනිමින් අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ හොඳින් තම පරිණතභාවය පෙන්නුවා. අප තවත් හොඳින් පුහුණුවීම්වල නිරත වෙමින් ක්‍රීඩාවේ දියුණුවක් ලබා ගන්නවා.” යැයි සිය අදහස් ThePapare.com අප හා ප්‍රකාශ කරන ලදී.

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන් – (පීතර) ෂෙහාන් ලියනපතිරණ  39′,47′

                                                  – (රාජකීය) නවීන් ජුඩ්  9′, කෝසල හසන්ජිත් 50′

කහ කාඩ්පත් – (රාජකීය) චතුර අවිශ්ක 35′

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට