ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

4661

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීම, අකිල දනංජයගේ නීත්‍යානුකූල නොවන පන්දු යැවීම, ක්‍රිකට් පුහුණුකරුවන්ගේ වෙනස් වීම්, පරිපාලනමය වෙනස්කම් නිසා මේ දිනවල ලෝකයේම අවධානය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු වී තිබේ.

ඒ අතරතුර  ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශක්තියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඉදි වූ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පසුගිය දා (10) හොරණ ප්‍රදේශයේ දී ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ජනතා අයිතියට පත් කරන ලදි.

>>කාසියේ වාසියට සමුදීමට කාලය හරි ද?

ශ්‍රී ලාංකීය දේශීය ක්‍රිකට් නංවාලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුධ හමුදාව හා යුධ හමුදා යුධෝපකරණ බලකාය සමඟ එක්ව ජාත්‍යන්තර මට්ටමට සරිලන ලෙස කළුතර හොරණ ප්‍රදේශයේ දී මේ නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර තිබේ.

ක්‍රිකට් පිටිය ජනතා අයිතියට පත් කිරීම සනිටුහන් කිරීම වෙනුවෙන් 2018 ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකාය හා කාලතුවක්කු අංශය අතර පැවති අතර එම තරගයෙන් ලකුණු 15ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු අංශය සමත් විය.

අක්කර 10ක භූමි ප්‍රමාණයක් තුල ඉදිකරන ලද මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අදියර තුනක් යටතේ සිදුවෙන අතර මෙහි දී ක්‍රීඩාංගණයේ පළමු අදියර ජනතා අයිතියට පත්විය. ප්‍රේක්ෂකයින් 1000කට පමණ එක්වර අසුන්ගෙන තරගයක් නැරඹීමට හැකි ලෙස මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මූලික අදියරේ ඉදිකිරීම් මේ වන විට නිමාවට පත් කර තිබේ.

අනුරාධපුර රාජධානිය ගොඩනැංවීමේ දී යොදා ගනු ලැබූ තාක්ෂණය උපයෝගී කරගෙන මේ ක්‍රීඩාංගණයේ අප ජල පද්ධතිය නොහොත් වර්ෂාවක දී ජලය බැස යන කානු පද්ධතිය නිර්මාණය කර තිබෙන නිසා, ඉතාමත් ඉක්මනින් ක්‍රීඩාංගණය මතට පතිත වන ජලය බැස යයි. එය ජාත්‍යන්තර මට්ටමේ හෝ වේවා ඕනෑම ක්‍රිකට් ක්‍රීඩාංගණයකට ඉතාමත් වැදගත් වේ.

පළමු අදියර තුල ක්‍රීඩා පිටියේ මූලික බිම් කොටස අදාළ කොටස් හා පහසුකම් නිර්මාණය සඳහා වෙන්කිරීම, තණතීරු සැකසීම, තණතිල්ල ප්‍රදේශය සැකසීම හා ප්‍රේක්ෂකාරයේ වැඩකටයුතු නිමා කර තිබේ.

>>බංගලි අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා නැගී එන පිළ සූදානම් ද?

ක්‍රීඩකයින්ට අවශ්‍ය නේවාසික පහසුකම්, ආපනශාලා, පුහුණු තණතීරු, පැති විකට්, මේ නව ක්‍රීඩා පිටියේ දෙවන අදියර යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර තෙවන හා අවසන් අදියරේ දී පිහිනුම් තටාකයක් හා ක්‍රීඩකයින්ට අත්‍යාවශ්‍ය මූලික පහසුකම් ඉදිකිරීම වෙනුවෙන් වෙන් කොට ඇත.

මේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමට තවත් වසර තුනක කාලයක් ගත වෙන අතර මේ පිටියේ පාසල් මට්ටමේ ක්‍රිකට් තරග හා දේශීය මට්ටමේ පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබෙන බව ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ අණ දෙන නිලධාරි හා ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම් භාර නිලධාරි මේජර් ජෙනරාල් පිමාල් විතානගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහි දී වැඩිදුරටත්  අදහස් දැක්වූ පිමාල් විතානගේ මහතා මෙසේ පැවසීය.

“මග්ගොන සරේ ගම්මාන ක්‍රිකට් පිටිය නැගී එන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පසුගිය කාලය පුරාවටම ඔවුන්ගේ පුහුණුවීම් කරන්න ලොකු උදව්වක් වුනා. ඉතින් ඒක නිසා සියලුම පහසුකම් හා උපකරණවලින් අංග සම්පූර්ණ කරන ලද නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අලුතින්ම ඉදිකරන්න අපි තීරණය කළා. මේ වන විට අපි රුපියල් මිලියන 50කට ආසන්න මුදල් ප්‍රමාණයක් මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කිරීමට වැය කර තිබෙනවා. මේ වගේ ක්‍රීඩාංගණයක් හදනවා කියන්නේ ලොකු අභියෝගයක්.

අපේ යුධෝපකරණ බලකාය විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරලා  මේ ක්‍රීඩා පිටිය හදන්න මූල්‍ය ප්‍රතිපාදන උපයා ගත්තා. ඒ වගේම අපේ යුධ හමුදා නිලධාරීන් මේ ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබා දුන්නා. මම මේ අවස්ථාවේ දී අපිට ලබා දීපු සහයෝගය වෙනුවෙන් අපේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා.”

අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් දැක්වූ දස්කම් මත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<