දකුණු අප්‍රිකානු පන්දු යවන්නාට වටෙන්ම දොස්මුර!

405

තම රට තුල වෙසෙන සුදු ජාතික ගොවි මහත්වරුන් ඉලක්ක කරගනිමින්  සිදු කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ල වෙනුවෙන් පෙනී නොසිටින ඇතැම් ක්‍රීඩකයින් කළු ජීවිතවල වටිනාකම සම්බන්ධයෙන් පමණක් හඬ නැඟීම හාස්‍යයට කරුණක් බව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන බොයිටා ඩිපෙනාර් සහ පැට් සිම්කොක්ස් පසුගිය දා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරතුර දී අවධාරණය කර සිටියහ.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු බලඇණිය සවිබල ගන්වන ප්‍රධානතම තුරුම්පුවක් ලෙස හඳුන්වා දිය හැකි යොවුන් ක්‍රීඩක ලුංගි නිගිඩි ඉදිරියේ දී කළු ජාතික පුද්ගලයින් හට සිදු වන අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටීමට අපේක්ෂා කරන බව සඳහන් කිරීමත් සමඟම ඊට ප්‍රතිචාර වශයෙන් සිම්කොස් සහ ඩිපෙනාර් යන මහත්වරුන් ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමට පෙලඹ ඇති බව වාර්තා වේ.

නිගිඩි එවැනි මතයක් දැරීම සම්බන්ධයෙන් කිසිවෙකු හට ඔහු සමඟ පෞද්ගලික ගැටලුවක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති නමුත් තමන් වාසය කරන රටේ සිදුවන අකටයුතුකම් උදාහරණත් සමඟ පෙනෙන්නට තිබිය දී ඒ සම්බන්ධයෙන් ඇස කන පියා සිටීම කිසිසේත්ම  අනුමත නොකරන බව හිටපු දකුණු අප්‍රිකානු කඩුලු රකින්නෙකු වන රූඩි ස්ටේන් මහතා ද ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනක් එක් කරමින් සඳහන් කොට තිබේ. 

“දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතිවාදී, වර්ගවාදී ගැටලු වෙනුවෙන් පෙනී සිටින එක ඉතාමත් හොඳ කාරණයක්. අපි හැමෝම ඒ උත්සහය අගය කළ යුතුයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් කළු ජාතිකයෝ විතරක් නෙමේ කෙනෙහිලිකම්වලට ලක් වෙන්නේ. ඔහු (නිගිඩි) හොඳටම දන්නවා අපේ රටේ සුදු ජාතික ගොවි මහත්වරුන්ට සිදු වෙලා තියෙන ඛේදවාචකය ගැන. ඇයි ඒ වෙනුවෙන් කථා කරන්න අකමැති? සුදු ජාතිකයින් සත්තු වගේ මරලා දානකොට ඒ ගැන නිහඬව ඉන්නේ ඇයි?” 

අලුත් නීති එක්ක පන්දුවාර වේගය පාලනය කරන්න අමාරුයි

1997 සිට 2007 වසර දක්වා ටෙස්ට් තරග 38ක් සහ එක්දින තරග 107කට දායකත්වය ලබා දී ඇති ඩිපෙනාර් මහතා ද පෙන්වා දී සිටියේ කළු ජාතිකයින් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුව මේ වන විට වාමාංශික දේශපාලන පක්ෂ විසින් ඉතාමත් කූඨ අයුරින් ඔවුන්ගේ යටි පරමාර්ථ ඉටු කරගැනීම සඳහා අතකොළුවක් බවට පත්කරගනිමින් සිටින බවයි.

“කළු ජීවිත විතරක් නෙමෙයි, හැම ජීවිතයකම වටිනාකමක් තියෙනවා. මම කියන්න කැමති නිගිඩිට ඔහු සටන් වඳින කාරණාව වෙනුවෙන් සහය දක්වන්න ඕනෑම වෙලාවක අපි සූදානම්. ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් නිගිඩිගෙන් මම අහන්න කැමති සුදු ගොවි මහත්වරුන්ට සිද්ධ වෙන අඩන්තේට්ටම් ගැන කථා කරන්න ඔබ අපිත් සමඟ එකට අත්වැල් බැඳ ගන්නව ද කියලා.”

ඩිපෙනාර්ගේ ප්‍රකාශය සමඟ තමන් සියයට සියයක් එකඟ වන බවත් නිගිඩිට අවශ්‍ය නම් කළු ජාතික සටන සඳහා තනිවම ඉදිරිපත් වී කටයුතු කරන ලෙසත් හිටපු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක පැට් සිම්කොක්ස් මහතා පවසා සිටියේය.

දෝනි දැන්මම විශ්‍රාම ගන්නවා ද?

“මොන විකාර කතාවක් ද ඒ? ඔහුට ඕනම නන් ඔය ගැන ඉදිරිපත් වෙලා ලොකුවට කතා කරන්න ඒක තනියම කරගන්න කියන්න. කණ්ඩායමක් විදියට අනිත් ක්‍රීඩකයින්වත් සම්බන්ධ කරගන්න උත්සහ කරන්නෙ නැතුව. අනික දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය එරිලා ඉන්න මඩ වලෙන් ගොඩ එන්නේ කොහොමද කියලා කල්පනා කරන වෙලාවේ මේ වගේ නාටකවලට ඉඩක් දෙන්න පුළුවන් ද කියලයි මම කල්පනා කළේ. නිගිඩි ඊළඟ වේල කනකොටවත් මතක් වුනොත් මම මේ කන කෑම ටික සපයන ගොවි මහත්වරුවන් වෙනුවෙන් දැන්වත් යමක් කරන්න ඕනා කියලා, ඇත්තටම ලොකු දෙයක්.”

ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් නිළධාරීවරුන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසාවෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැත්තා හට සාධාරණයක් ඉෂ්ට කරන මෙන් බල කර සිටිමින් නිර්මාණය වූ විරෝධතා රැල්ල මේ වන විට “Black Lives Matter” යන තේමා පාඨය මුල් කරගනිමින් දැවැන්ත ජන බලවේගයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. 

එම වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ජේසන් හෝල්ඩර්, මයිකල් හෝල්ඩින්ග්, ඩැරන් සැමී වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක්ම ඔවුන්ගේ සහය පළකොට තිබීම ද වඩාත් කැපී පෙනේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<