අගමැතිතුමාගෙන් නව ක්‍රීඩා අරමුදලක්

113
Prime Ministers Sports Fund

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් මත, 2020 ඔලිම්පික් උළෙල හා ඉදිරි ඔලිම්පික් තරගාවලි ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නගාසිටුවීමේ අරමුණින් ‘අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල’ නමින් නව ක්‍රීඩා අරමුදලක් පිහිටුවා තිබේ. ඊයේ (07) අරලිය ගහ මන්දිරයේ දී පැවති උත්සවයක දී මේ අරමුදල පිහිටවූ අතර මිලියන 50කින් ආරම්භ වූ මේ අරමුදල ඉදිරියේ දී මිලියන 200 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි.

නව ශ්‍රී ලංකා වාර්තා 4ක් හා තරගාවලි වාර්තා 11ක් සමඟින් මලල ක්‍රීඩාව ඉදිරියට

96 වන ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් දිනය අද (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී..

එම උත්සවයේ දී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ අන්තර්ජාතික ජයග්‍රහණ ලැබීම සඳහා මේ අරමුදල විශාල පිටිවහලක් වනු ඇති බවයි. තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික වෙළඳ ප්‍රජාව සමඟ සම්බන්ධ වෙමින් මේ අරමුදල තර කරගැනීම තමාගේ අභිප්‍රාය බවය. මේ උත්සවයේ දී ක්‍රීඩා අරමුදලට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා වෙත ප්‍රදානය කරන ලදි.

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමග සුහද පිළිසඳරක නිරත වීමට ද අග්‍රාමාත්‍යවරයා මේ උත්සවය අවස්ථාවක් කරගත්තේය.

ඔලිම්පික් පදක්කම් ලාභී සුපිරි ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඇය සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳ තමා ඉතා සතුටු වන බවයි.

මෙම ක්‍රීඩා අරමුදලෙන් ලැබෙන ශක්තියෙන් රටට වැඩි පදක්කම් ප්‍රමාණයක් ලැබෙනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළ අතර මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසා සිටියේ පිට පලාත්වල ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පුහුණුවීම් සඳහා මේ අරමුදල ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් මේ අරමුදල අධීක්ෂණය කිරීමට කමිටුවක් පත් කර ඇති අතර හැටන් නැෂනල් සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ජනාධිපති කාර්යාලයේ, මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මේ කමිටුවට ඇතුලත් වේ.

තවද ජාතික ඔලිම්පික් කමිටුව විසින් මේ අරමුදල භාවිතා කරගෙන නව ක්‍රීඩා ඇකඩමියක් පිහිටුවීමට අදහස් කරන බව ද මේ උත්සවයේ දී අනාවරණය විය.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<