අගමැති කුසලානයේ සමාරම්භයට වැස්ස හරස් කපයි

අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය 2021

152

අද (08) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ කිරීමට නියමිතව තිබූ අගමැති මහින්ද රාජපක්ෂ අභියෝගතා පාපන්දු කුසලානයේ පළමු තරග ද්විත්වයම, ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට නොනවත්වා ඇඳහැලෙන වර්ෂාව නිසාවෙන් කල්දැමීමට කිරීමට තරගාවලි  සංවිධායකයින් කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මාලදිවයින, බංග්ලාදේශය සහ සීෂෙල්ස් කණ්ඩායම් සහභාගී වන මෙම සිව්කොන් පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් අද පස්වරුවේ බංග්ලාදේශය සහ සීෂෙල්ස් ද, රාත්‍රියේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද තරග වැදීමට නියමිතව තිබුණා.

පසුගිය දින කිහිපයේ ඇඳහැලුණු වර්ෂාව නිසාවෙන් බංග්ලාදේශය සහ සීෂෙල්ස් රාජ්‍යය අතර තරගය හෙට (09) දිනයට කල්දැමීමට කටයුතු කළ අතර සවස් වරුවේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ සමාරම්භක උළෙල සමඟින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය පෙර සැලසුම් පරිදි පැවැත්වීමට සූදානම් කර සිටියා.

තරගාවලියේ සමාරම්භක උළෙල සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, මාලදිවයිනේ ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලී මහතා සහ මාලදිවයිනේ ක්‍රීඩා අමාත්‍ය Ahamed Mahloof මහතා සහභාගි වීමට නියමිතව තිබුණා.

කෙසේ නමුත් දිවයිනටම බලපෑම් එල්ල කර ඇති මෙම අයහපත් කාලගුණ තත්වයේ වර්ධනය නිසාවෙන් තරගය කල්දමා ඉදිරි දිනයක පැවැත්වීමට සැලසුම් කරන බව සංවිධායකයින් මාධ්‍ය වෙත දන්වා තිබුණා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සැලසුම් කර ඇති මෙම තරගාවලිය අද (08) සිට නොවැම්බර් 19 වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් හතරක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් ද්විත්වය නොවැම්බර් 19 වැනිදා අවසන් මහා තරගයට තරග වදින අතර එහි ජයග්‍රාහකයන් හට අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය සහ ඇමරිකන් ඩොලර් 30,000ක මුදලක් හිමිවනු ඇත.

එමෙන්ම තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් අඩක් සම්පූර්ණ වන ලෙස ප්‍රේක්ෂකයන් කැඳවීමට අවසර හිමිව ඇති අතර එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ දේශීය ප්‍රේක්ෂකයන්ට සහ විදෙස් ප්‍රේක්ෂකයන්ට ඒ අනුව තරග නැරඹීමට අවසර හිමිවනවා.

ශ්‍රී ලංකාව තුළ පළමු වරට පැවැත්වෙන මෙම සුවිශේෂී තරගාවලිය පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ,

අපේ රටේ ක්‍රීඩාංගණ ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීමට සුදුසු බව පෙන්වීමට මෙම තරගාවලිය ඉතාමත් හොඳ අවස්ථාවක්. අපේ ක්‍රීඩාංගණ, අපේ යටිතල පහසුකම් ජාත්‍යන්තර තරගවලට භාවිතා කිරීමට සුදුසුයි කියන පණිවිඩයත්, එන්නත්කරණය අවසන් වීමත් සමඟම කොරෝනා වසංගත කාලසීමාවෙන් පසු හා වසංගත තත්ත්වය අතරතුර රට තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මාවත විවර වෙනවා කියන පණිවිඩයත් මෙමගින් ලබා දෙන්න අපට පුළුවන් වුනා.

මාලදිවයින කියන්නේ අපේ අසල්වාසී රටක්. ඒ වගේම අපේ රටේ ජනතාව සමඟ ඉතාමත් සමීප සබඳතා පවත්වමින් සහයෝගයෙන් ජීවත් වෙන රටක්. රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක මාලදිවයින් පාපන්දු ක්‍රීඩාව ඉතාමත් හොඳ ස්ථානයක තිබෙනවා.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පිළිගෙන මාලදිවයිනේ ජනාධිපතිතුමා මෙහි සමාරම්භක උත්සවයට සම්බන්ධ වීමට පැමිණීම පිළිබඳව අපි සතුටු වෙනවා”.

තරගාවලියේ සමාප්ති උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති Gianni Infantino ද එක්වීමට නියමිතයි.

අද පැවැත්වීමට නියමිතව තිබූ තරගවලින් බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර තරගය හෙට (09) සවස 4:00ට පැවැත්වීමට නියමිතව ඇති නමුත්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය පැවැත්වෙන නව වේලාවන් තවමත් ප්‍රකාශ කර නැහැ.

අගමැති කුසලාන සිව්කොන් පාපන්දු කුසලානයේ සියලු තොරතුරු, ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<