සීෂෙල්ස් ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකාවට අමිහිරි රාත්‍රියක්

අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය 2021

290

අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අද (13) පැවති සිව්වැනි තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගන්නට සීෂෙල්ස් ක්‍රීඩකයින් සමත් වුනා. ඒ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජය කරමින්.

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය ගෝල 4-4ක් ලෙස සමව නිමා වුනේ දෙවැනි අර්ධයේ දී වසීම් රාසික් වාර්තා කළ සුපිරි ගෝල 4ත් සමඟයි.

තරගය අරම්භයේ දී බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 4ක් සමඟ ප්‍රථම ස්ථානයේත්, ශ්‍රී ලංකාව, සීෂෙල්ස් සහ මාලදිවයින එක් ප්‍රසාද ලකුණ බැගින් වාර්තා කරමින් සම ස්ථානවලත් පසු වුනා.

රාත්‍රි 9.00ට ආරම්භ වූ මෙම තරගයේ පළමු අර්ධය තුල දී කිසිදු ගෝලයක් වාර්තා කරන්නට කණ්ඩායම් දෙකම සමත් වුනේ නැහැ.

14 වැනි මිනිත්තුවේ දී සීෂෙල්ස් කණ්ඩායමට ගෝලයක් රැස්කර ගන්නට අනගි අවස්ථාවක් දඬුවම් පහරක් මඟින් හිමි වුවත්, සීෂෙල්ස් නායකයාට එය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පළමු අර්ධය පුරාවට දෙපිලේම ක්‍රීඩකයින් සිය අන්ත ආරක්ෂා කර ගනිමින් කරට කර තරගයක් දෙනු දක්නට ලැබුණු අතර දෙපිලටම ගෝල රැස්කර ගන්නට හිමි වූ අවස්ථා ලකුණු බවට පරිවර්තනය කර ගන්නට අසමත් වීම කැපී පෙනුණා.

පළමු අර්ධය – ශ්‍රී ලංකාව 0 – 0 සීෂෙල්ස්

කණ්ඩායම් දෙකම දෙවැනි අර්ධයේ දී ගෝල රැස් කරමින් තරගය ජය ගැනීමේ අරමුණින් පිටියට පිවිසියත්, පළමු අර්ධයේ දී දැක්වූ ක්‍රීඩා විලාශයම දෙවැනි අර්ධයේ දී ද කණ්ඩායම් දෙකෙන් දක්නට ලැබුණා.

53 වැනි මිනිත්තුව ආසන්නයේ දී සීෂෙල්ස් නායක Alvin Roddy Michel ආබාධයකට ලක් වූ අතර වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන ගියා. කෙසේ නමුත් ඔහුගේ තත්වය අයහපත් නොවන බව පසුව දැන ගන්නට ලැබුණු අතර සීෂෙල්ස් ක්‍රීඩකයින් ඉතිරි කාලය ක්‍රීඩා කළේ සිය නායකයා නොමැතිවයි.

කෙසේ නමුත් අවසානයේ දී තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සීෂෙල්ස් ක්‍රීඩකයින් සමත් වුනේ තරගයේ 68 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සමඟිනුයි. සීෂෙල්ස් ක්‍රීඩක Josip Henry Ravignia එල්ල කළ පැති පහරකින් ලැබුණු පන්දුව සාර්ථකව හිසින් ගෝලය තුලට එල්ල කරන්නට Warren Eric Mellie සමත් වුනේ සිය උසේ වාසිය ද අවියක් කර ගනිමිනුයි.

එ්ත් සමඟම ශ්‍රී ලංකාව දෙසට තරගයේ වැඩී පීඩනය යොමු වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු හැසිරවීම සහ සන්නිවේදන දුර්වලතා මෙන්ම නිසි එල්ලයට පන්දුව යොමු කිරීමට අසමත් වීම නිසාවෙන් ගෝල රැස් කරමින් සීෂෙල්ස් කණ්ඩායමට අභියෝගයක් වන්නට නිර්මාණය වූ අවස්ථා කිහිපයක්ම ඔවුන් වෙතින් ගිලිහී ගියේ ප්‍රතිවාදීන්ට තවත් තරගයේ පහසු කරමිනුයි.

කෙසේ නමුත් තරගය පුරාවට ශ්‍රී ලංකා ගෝල රකින්නාගේ දක්ෂතා කැපී පෙනුණු අතර තවදුරටත් තරගාවලියේ රැඳී සිටිමින් ශූරතාවය ජයග්‍රහණය කරන්නට නම්, ගෝල ලබා ගැනීමට නිර්මාණය වන අවස්ථා ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් උත්සාහ කළ යුතු වෙනවා.

ඒ අනුව ගෝල 1-0ක් ලෙස තරගය ජයග්‍රහණය කළ සීෂෙල්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ බංග්ලාදේශය සමඟ සම ස්ථානයේ පසුවනවා.

  • තරගයේ වීරයා – Warren Eric Mellie

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 -1 සීෂෙල්ස්

ගෝල ලාභීන්:

  • සීෂෙල්ස් – Warren Eric Mellie 68’

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන 16 වැනිදා බංග්ලාදේශය සමඟින් රාත්‍රි 9.00 ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප ඇතුළු තවත් දෑ සඳහා රැඳී සිටින්න ThePapre.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<