වසීම්ගේ ගෝල වැස්සෙන් ශ්‍රී ලංකා – මාලදිවයින් සටන සමයි

අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය 2021

279

ප්‍රථම වරට සංවිධානය කරන “අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලිය” අද (09) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති පළමු තරගය ගෝල 4-4ක් ලෙස සමව නිමාවට පත්වුනා.

තරගාවලිය ඊයේ (08) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුනත්, අධික වර්ෂාව නිසාවෙන් අද දිනය දක්වා තරග කල් දැමීමට සංවිධායකයින්ට සිදු වුනා.

ඒ අනුව ඊයේ රාත්‍රියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය අද සවස් පැවැත්වීමට තීරණය කළ අතර බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර තරගය නැවත දැනුම් දෙනතුරු කල් දැමුවා.

ඒ අනුව අද (09) කොළඹ තුරඟ පිටියේ දී නිල වශයෙන් ආරම්භ වූ මෙම තරගාවලියේ සමාරම්භක උළෙලට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා, මාලදිවයිනේ ජනාධිපති ගරු ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලී මහතා සහ මාලදිවයිනේ ක්‍රීඩා අමාත්‍ය Ahamed Mahloof මහතා සහභාගි වී සිටියා.

දේශීය සංස්කෘති අංග කිහිපයකින් වර්ණවත් වූ එම සමාරම්භක අවස්ථාවේ දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය නිරාවරණය කිරීමෙන් අනතුරුව තරගාවලිය නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ප්‍රථම තරගය ආරම්භ වී කෙටි වේලාවක් තුළ දක්ෂ නවතාලීම් ද්විත්වයක් සිදු කිරීමට නායක සුජාන් පෙරේරාට හැකි වූවත්, තරගයේ 8 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවට ලැබූ පන්දුවක් හිසින් ගෝලයට යොමු කරමින් පළමු ගෝලය රැස්කිරීමට මාලදිවයින් නායක Abdul Ghaneeට හැකි වුනා.

එම ගෝලයෙන් කෙටි වේලාවක් තුළ ක්‍රියාත්මක වූ මාලදිවයින් ක්‍රීඩක Ali Fasir සුජාන් පෙරේරා පසු කරමින් තවත් ගෝලයක් රැස්කිරීමට සමත් වුනේ තරගය ආරම්භ වී මිනිත්තු 10ක් පමණක් ගත වන විටයි.

ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පළමු අර්ධයේ මුල් භාගයේ දී අවස්ථා කිහිපයක් නිර්මාණය කර ගැනීමට සමත් වූවත්, මාලදිවයින් පසුපෙළ ක්‍රීඩකයන් එම අවස්ථා සාර්ථකව වැළැක්වුවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සියලුම උත්සාහයන් අපතේ යවමින් 34 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත දී ලැබූ පන්දුවක් ශ්‍රී ලංකා පසුපෙළ ක්‍රීඩකයන් අභිබවමින් දඬුවම් රාමුව තුළට ගෙනවිත් ගෝලය තුලට එල්ල කිරීමට Ibrahim Hussainට හැකි වීම නිසා පළමු අර්ධය ගෝල 3-0ක් ලෙස මාලදිවයිනට වැඩි වාසි ගෙන දෙමින් අවසන් වුනා.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 3 මාලදිවයින

දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වෙලාවක් තුළ තවත් ගෝලයක් ලබා ගැනීමට ආසන්නතම අවස්ථාවක් මාලදිවයිනට ලැබුණු නමුත්, එම අවස්ථාව ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට Ali Fasirට හැකි වුනේ නැහැ.

නමුත් තරගයේ 58 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ මාලදිවයින් ක්‍රීඩක Ibrahim Hussain දඬුවම් රාමුව අසල දී ලද පන්දුවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුකරමින් දැල වෙත එල්ල කරමින් සිව්වැනි ගෝලය සිය කණ්ඩායමට එකතු කරන්නට ඔහු සමත් වුනා.

තරගයේ 65 වැනි මිනිත්තුවේ දී ඉදිරිපෙළ ක්‍රීඩක ඩිලොන් ද සිල්වා නිර්මාණය කර දුන් අවස්ථාවක් සාර්ථක කරගනිමින් තරගයේ පළමු ගෝලය රැස්කිරීමට වසීම් රාසීක්ට හැකි වුනේ පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැලට යොමු කරමිනුයි.

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තුවක් ගෙන දෙමින් නැවත ක්‍රියාත්මක වූ වසීම් 68 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් රැස්කර ගැනීමට සමත් වුනේ ඩිලොන් ද සිල්වා ලබා දුන් පන්දුවක් හමුවේයි.

73 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ ඩිලොන් සහ වසීම් දෙදෙනා තවත් ගෝලයක් ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වුනා. ඩිලොන් දඬුවම් රාමුවට ලබා දුන් පන්දුවක් මාලදිවයින් ගෝල රකින්නා පසු කරමින් දැල වෙත යොමු කිරීමට වසීම්ට හැකි වුනේ ශ්‍රී ලංකාව නැවතත් තරගයට ගෙන එමිනුයි.

මාලදිවයින් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින් සිය සිව්වැනි ගෝලය රැස්කරමින් තරගය සම කිරීමට වසීම්ට හැකි වුනේ තරගයේ අවසන් අමතර කාලයේ දීයි. පැතිපහර අවස්ථාවක් මගින් පැමිණි පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා ආසන්නයේ සිට දැල වෙත එල්ල කිරීමට වසීම්ට හැකි වුනේ මාලදිවයින් ක්‍රීඩකයන් අසරණ කරමිනුයි.

ඒ සුපිරි නැවත පැමිණීම නිසාවෙන් තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස සැලකෙන මාලදිවයින් කණ්ඩායම සමඟ තරගය සමව අවසන් කරමින් තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

තරගය පුරාවටයම ඉදිරි පෙළ ක්‍රීඩක ඩිලොන් ද සිල්වාගේ දස්කම් කැපී පෙනුණු අතර ඔහු තවමත් 19 වැනි වියේ පසුවීම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 4 – 4 මාලදිවයින

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්,

  • මාලදිවයින: Abdul Ghanee 8’, Ali Fasir 10’, Ibrahim Hussain 34’& 58’
  • ශ්‍රී ලංකාව: වසීම් රාසීක් 63’,67’,71’ & 90+2’

අගමැති කුසලාන සිව්කොන් පාපන්දු කුසලානයේ සියලු තොරතුරු, ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<