තර්ස්ටන් – ඉසිපතන දෙවිදුහල් අතර අලුත් මහා සංග්‍රාමයක්

1112

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර ප්‍රථම වරට සංවිධානය කරන මහා පාපන්දු තරගය මැයි 13 වැනිදා (සෙනසුරාදා) කොළඹ තුරඟ තරග පිටියේ දී  පැවැත්වීමට නියමිතයි.

අධ්‍යාපනික වශයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන මෙම විද්‍යාල දෙක අතර පැවැත්වීමට නියමිත මෙම පාපන්දු මහා තරගය ‘W.A රෝහණ අභියෝගතා කුසලානය’ ලෙස නම් කර තිබෙනවා.

මෙම පාපන්දු මහා තරගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (8) වෙළඳසේවා ක්‍රිකට් සංගම් පරිශ්‍රයේ දී සංවිධානය කර තිබුණා.

“දශක දෙකකට ආසන්න කාලයක් තර්ස්ටන් විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ හිටපු ක්‍රීඩකයෙකු වන W. A. රෝහණ මහතාගේ නමින්, මෙම කුසලානය නම් කිරීමට අපි හිතුවේ ඔහුගේ උත්සාහය සහ කැපකිරීම් නිසායි. W. A. රෝහණ අභියෝග කුසලානය ක්‍රීඩාව සඳහා ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් වනු අතර එය ඔහුගේ දායකත්වයට කරන සදාකාලික උපහාරයක් වේවි,” යැයි තරගාවලි සංවිධායකයින් විසින් මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

එහි දී අදහස් දැක්වූ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ගරු ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා, අපේ විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාව ආරම්භ වුුනේ 1972 වසරේ දී. ඉන්පසු නැගීම්, බැසීම් එක්ක අපේ පාපන්දුව ඉදිරියට ගිහින් තියෙනවා. ජාතික පාපන්දු ක්‍රීඩාවට විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් බිහිකිරීමේ ගෞරවය අප සහෝදර පාසල් දෙකටම හිමි වෙනවා. මෙම මහා තරගයෙන් අපි බලාපොරොත්තු වන්නේ මෙම ක්‍රීඩාව ජනප්‍රිය කිරීම හා ජාතික තලයට පාපන්දු ක්‍රීඩකයන් නිර්මාණය කිරීමයි.

ඉදිරියේ දී ආරම්භ කරන මෙම මහා සංග්‍රාමය වසරෙන් වසර දියුණු වෙලා, ශ්‍රී ලංකාවට විශාල පාපන්දු ක්‍රීඩකයින් රැසක් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමින් කණ්ඩායම් දෙකටම සුබ ප්‍රාර්ථනා කරනවා,” යනුවෙන් පැවසුවා.

Photos – Media Conference | Isipathana College v Thurstan College – W.A. Rohana Challenge Trophy

ඉන්පසුව අදහස් දැක්වූ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ගරු ඔෂාර පණ්ඩිතරත්න මහතා පවසා සිටියේ, “මේ විද්‍යාල දෙකේ මහා ක්‍රිකට් තරගය තුළින් අපි මුළු රටටම ලොකු ආදර්ශයක් දෙනවා. ඒ වගේම මේ පාපන්දු තරගයත් පාසල් දෙක අතර තිබෙන සහෝදරත්වය තවත් වර්ධනය කරයි කියලා මම විශ්වාස කරනවා.

අප විද්‍යාලයේ පාපන්දු කණ්ඩායම පසුගිය කාලයේ දිස්ත්‍රික් මට්ටමේ තරගමාලාවල ශූරයන් ලෙස අභිෂේක ලබා තිබෙනවා. කෙසේ වෙතත්, ක්‍රීඩාව එතැන් සිට තරමක් පහත වැටුණු නමුත් දැන් නැවත හිස ඔසවමින් සිටිනවා. ඒ සඳහා ආදි සිසුන් හොඳ සහයෝගයෙන් කටයුතු කරනවා.”

මෙම මහා තරගයේ දී තර්ස්ටන් කණ්ඩායමේ නායකත්වය තිමිර ලක්ශාන් විසින් දරන අතර, උපනායකයා ලෙස කටයුතු කරන්නේ විරාජ් සම්පත්. එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ජාතික පාපන්දු ක්‍රීඩක ශ්‍රී කාන්ත් මහතායි.

ඔෂාන් කාවින්ද ඉසිපතන කණ්ඩායමේ නායකයා ලෙස ද, අබ්දුල් අතික් උපනායකයා ලෙස ද කටයුතු කරන අතර, ශ්‍රියන්ත රණසිංග මහතා එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මෙම මහා තරගය එළඹෙන 13 වැනිදා හවස 4ට ආරම්භ වීමට නියමිත අතර ඊට පෙර පාසල් දෙකේ 14න් , 16න් පහළ කණ්ඩායම් සහ ආදි සිසුන් අතර තරග ද පැවැත්වීමට නියමිතයි. මෙම මහා සංග්‍රාමයේ උණුසුම සජීව ලෙස ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<