විස්සයි විස්ස ලෝක කුසලානයට මොකද වෙන්නේ?

78

පවතින කොරෝන වයිරස අවදානම යටතේ වුවත් ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය නවත්වන්නට අදහසක් නැතැයි ICCය පවසා සිටිනවා. ඩුබායි හිදී පැවැත්වුණු අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක දී තරගාවලිය සැලසුම් කළ පරිදීම ඉදිරියට පවත්වා ගෙන යන්නට ඔවුන් තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමාජයෙන් ඈත්වෙයි

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමේ අරමුණින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දින……

2020 ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ හතක් පුරා පැවැත්වීමට නියමිතයි.

“කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා ලෝක කුසලාන සංවිධායකයින් බලධාරීන් හා එක්ව තියුණු තත්ත්ව පරික්ෂාවක යෙදෙනවා. ඔවුන් බොහොම අවධානයෙන් සිටින්නේ. ඔවුන් දිගටම එසේ කරයි.” ICCය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

“ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ හතක් පුරා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සැලසුම් කළ පරිදිම ඉදිරියට පැවැත්වෙනවා.” යැයි එහි දී වැඩිදුරටත් සඳහන් විය. 

“අපි බලාපොරොත්තු වෙනවා සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් නැවත වතාවක් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්නට හැකි වෙයි කියලා.” ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානි කෙවින් රොබර්ට්ස් පසුගිය අඟහරුවාදා  පවසා සිටියා.

“අපි කවුරුත් මේ තත්වය පිළිබඳ විශේෂඥයින් නොවෙයි. අපි බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානය ක්‍රියාත්මක වන ඔක්තෝබර් හා නොවැම්බර් මස වන විට තත්වය යහපත් අතට හැරෙයි කියලා.”

“අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 15 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ප්‍රේක්ෂකයින් රැසක් ගෙනෙන්නට. ඒ වන විට තත්ත්ව යහපත් අතට පත් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.”

ඕස්ට්‍රේලියාවේ මේ වන විට මිනිසුන් 50කට වැඩි උත්සව හා ක්‍රීඩා අවස්ථා සියල්ල තහනම් කෙරුණා. ඕස්ට්‍රේලියාව තුළ කොරෝනා රෝගීන් 500ක් මේ වන විට හඳුනා ගෙන ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව හයක් නිසා ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් ගුවන් සේවය ගුවන්ගමන් ද නතර කර සිටිනවා.

ලෝක කුසලානයට අමතරව මේ වසර අග දී ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය සමඟින් ඕස්ට්‍රේලියාව එරට දී තරගාවලි දෙකක් සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් 2020/21 තරග වාරය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරග සැලැස්ම ලබන මස සැලසුම් කළ පරිදි එළිදැක්වෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියා.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<