2026 පාපන්දු ලෝක කුසලානය සඳහා සටන් වදින රටවල් සංඛ්‍යාව මේ වන විට කණ්ඩායම් 16ක් දක්වා අඩු වී තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ කණ්ඩායම් 32 තරග වටය ක්‍රියාත්මක වූ අතර, එම තරගවල දී කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ අන්දමේ තරග පවා දක්නට ලැබුණා. එමෙන්ම ලෝක පාපන්දු ප්‍රබලයින් කුඩා කණ්ඩායම් හමුවේ පසුබෑමකට ලක් වන අවස්ථා ද දක්නට ලැබුණු අතර, පසුව කෙසේ හෝ සිය ගෞරවය රැක ගනිමින් නැවත ඉදිරියට පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්.
ඒ අනුව තරගාවලියේ ඉතිරි වී ඇති කණ්ඩායම් 16 අතුරින් කණ්ඩායම් 08ක් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තරග අද (04) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
එම තරග විස්තර සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු පහතින්;
මොරොක්කොව සහ කැනඩාව
අද (04) රාත්‍රි 22.30
මෙවර තරගාවලියේ හොඳම කණ්ඩායම් 32 අතරට අප්‍රිකානු රටවල් 09ක් සුදුසුකම් ලබාගත් නමුත් මේ වන විට ඉතිරි වී ඇත්තේ මොරොක්කෝව සහ ඊජිප්තුව පමණයි. මේ අතරින් මොරොක්කෝව නිමා වූ 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා ද පැමිණීමට සමත් වූ අතර, මෙවර තරගාවලියේ දී ප්‍රබල නෙදර්ලන්තය පරාජය කරමින් ඉදිරියට පැමිණීමට සමත් වුනා.
කැනඩාව තරගාවලියේ සත්කාරක රටක් ලෙස ඉදිරියට පැමිණි අතර, මේ වන විටත් ඔවුන් සිය ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩා කළ හොඳම ලෝක කුසලානය ලෙස මෙය ක්‍රීඩා කරමින් සිටිනවා.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම – මොරොක්කෝව
පැරගුවේ සහ ප්‍රංශය
හෙට (05) අලුයම 2.30
මෙවර ලෝක කුසලානය ජය ගනීවි යැයි බොහෝ දෙනා අනුමාන කරමින් සිටින ප්‍රංශ කණ්ඩායම මේ දක්වා ලෝක කුසලානය තුළ තමන්ට මුණ ගැසුණු සියලු ප්‍රතිවාදී කණ්ඩායම් ඉතා පහසුවෙන් පරාජය කිරීමට සමත් වී සිටිනවා.
ප්‍රංශය වෙනුවෙන් Kylian Mbappe, Ousmane Dembele මෙන්ම Michael Olise යන ක්‍රීඩකයින් ඉතා ඉහළ මට්ටමේ දක්ෂතා දක්වමින්, ගෝල වාර්තා කිරීම් වෙනුවෙන් සහය වන අතර, ඔවුන්ට තර්ජනයක් එල්ල කිරීමට පැරගුවේ කණ්ඩායමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇති.
පැරගුවේ කණ්ඩායම ලෝක කුසලානය දක්වා ඇති ඉහළම දක්ෂතාව ලෙස 2010 දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීම සටහන් වන අතර, මෙවර ඔවුන්ට නැවතත් එම තරග වටයට පැමිණීමට නම් හෙට ප්‍රංශ ඉදිරි පෙළ ගෝල වාර්තා කිරීම නතර කිරීම සිදු කළ යුතු වනවා. මෙහි දී ප්‍රංශය හොඳම කණ්ඩායම් 16 අතරට පිවිසීම සඳහා ප්‍රබල ජර්මනිය පරාජය කිරීමට සමත් වීම නිසා, මෙම තරගය පිළිබඳ ව ද යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම: ප්‍රංශය
බ්‍රසීලය සහ නෝර්වේ
ජුලි 06 අලුයම 1.30
බ්‍රසීලය විසින් ජපානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබමින් මෙම වටයට සුදුසුකම් ලබාගත්තා. කෙසේ වෙතත් මේ වන විට බ්‍රසීලයට ඇති ප්‍රධානතම ගැටලුව ලෙස ඔවුන්ගේ ක්‍රීඩක ආබාධ තත්ව හඳුනා ගත හැකි අතර, පෙර තරගයේ දී ආබාධයකට ලක් වූ Lucas Paqueta වෙනුවට මෙම තරගයේ දී කවුරුන් ක්‍රීඩා කරාවි ද යන්න මේ වන විට කතාබහට ලක් වෙමින් තිබෙනවා. මෙහි දී Neymar ඒ වෙනුවට කණ්ඩායමට එක් වේ ද යන්නත් අනුමාන අතරට එක් වී තිබෙනවා.
මේ අතර නෝර්වේ කණ්ඩායම ද මෙතෙක් තරගාවලිය තුළ ප්‍රංශය හමුවේ දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය නොවන්නට ඉතා හොඳ තරග කිහිපයක් ම ක්‍රීඩා කිරීමට සමත් වුනා. ඔවුන් අයිවරි කොස්ට් පරාජය කරමින් මෙම තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, Erling Haaland මෙම තරගයේ දී දක්වන දක්ෂතා අනුව නෝර්වේ ඉරණම තීරණය වනු ඇති. එමෙන්ම බ්‍රසීලය විසින් Haaland නතර කිරීම සඳහා දරන වෙහෙස මත ඔවුන්ගේ ඉරණම විසඳෙනු ඇති.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම – බ්‍රසීලය
මෙක්සිකෝව සහ එංගලන්තය
ජුලි 06 උදෑසන 5.30
මෙවර ලෝක කුසලානයේ තවත් සත්කාරක රටක් වන මෙක්සිකෝව විසින් මේ දක්වා තරගාවලිය තුළ සිය ප්‍රතිවාදීන් හට එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට ඉඩ ලබා දී නැහැ. ඒ අනුව එංගලන්ත ඉදිරි පෙළ ක්‍රීඩකයින්ට මෙක්සිකෝ ආරක්ෂක වලල්ල ආක්‍රමණය කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇති.
මෙක්සිකෝව විසින් ඉක්වදෝරය ඉතා පහසුවෙන් පරාජය කරමින් මෙම තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, එංගලන්තය DR කොංගෝ දේශය හමුවේ දැඩි පසුබෑමකට ලක් වෙමින් කෙසේ හෝ අවසන් මොහොතේ නායක Harry Kaneගේ ගෝල ද්විත්වයක් සමඟ මෙම වටයට සුදුසුකම් ලබාගත්තා.
කෙසේ වෙතත් මෙම තරගය පැවැත්වීමට නියමිත මෙක්සිකෝ ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට ඇති ඉහළ උස නිසා එංගලන්ත ක්‍රීඩකයින්ට සාපේක්ෂව තරමක අපහසුවක් දැනීමේ සම්භාවිතාවක් ද පවතිනවා.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම – මෙක්සිකෝව
පෘතුගාලය සහ ස්පාඤ්ඤය
ජුලි 07 අලුයම 12.30
මෙම තරග වටයේ වඩාත් ඉහළ අවධානයක් යොමු වන තරගයක් ලෙස මෙය හඳුනා ගත හැකි.
ස්පාඤ්ඤය විසින් ඔස්ට්‍රියාව පරාජය කරමින් මෙම වටයට සුදුසුකම් ලබා ගත් අතර, පෘතුගාලය ක්‍රොයේශියාව පරදවමින් මෙම වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මෙය පෘතුගාල ක්‍රීඩක Cristiano Ronaldo හට සිය ලෝක කුසලාන සිහිනය හිමි කර ගැනීමට ලැබෙනා අවසන් අවස්ථාව ලෙස සටහන් වන අතර, අනෙක් පසින් යොවුන් ස්පාඤ්ඤ ක්‍රීඩක Lamin Yamal හට තම මංගල ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට ඇති අවස්ථාව ලෙස සටහන් වනවා.
මෙහි දී තරගයේ වැඩි වාසි ස්පාඤ්ඤය සතු වන බව මෙතෙක් ක්‍රීඩා කළ තරග අනුව වටහා ගත හැකි නමුත්, පෘතුගාලය සතු ක්‍රීඩක සංයෝජනයන් හරි හැටි ක්‍රියාත්මක වුව හොත් ස්පාඤ්ඤය විශාල ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වනු ඇති.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම: ස්පාඤ්ඤය
ඇමරිකා එක්සත් ජනපදය සහ බෙල්ජියම
ජුලි 07 උදෑසන 5.30
මෙවර තරගාවලියේ අනෙක් සත්කාරක රට ලෙස ඇමරිකාව ද මෙතෙක් දුර පැමිණීමට සමත් වූ අතර, අවසන් වශයෙන් ඔවුන් බොස්නියාව පහසුවෙන් පරාජය කිරීමට සමත් වුනා. මේ දක්වා ඇමරිකාව විසින් සාපේක්ෂ වශයෙන් ඉතා හොඳ තරග රටාවක් පවත්වා ගෙන පැමිණි අතර, ඔවුන් අසාර්ථක වුනේ තුර්කිය හමුවේ පමණයි.
මේ අතර බෙල්ජියම විසින් සෙනගාලයට නොසිතූ විරූ පරාජයක් උරුම කර දෙමින් මෙම තරග වටයට සුදුසුකම් ලබා ගත් අතර, ඔවුන් සතු වේගවත් ආක්‍රමණශීලී තරග රටාව හරි හැටි ක්‍රියාත්මක වුව හොත් 2018 ලෝක කුසලානයේ මෙන්ම මෙවරත් යම් විශේෂ ජයග්‍රහණ දැක බලා ගැනීමේ අවස්ථාව ද පවතිනවා.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම: බෙල්ජියම
ආජන්ටිනාව සහ ඊජිප්තුව
ජුලි 07 රාත්‍රි 9.30
වත්මන් ලෝක ශූරයින් ලෙස තරගාවලිය පිවිසි ආජන්ටිනාව ක්‍රීඩා කළ අවසන් තරගය හැරුණු කොට අනෙක් සියලු තරග ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් කේප් වර්ඩ් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී නම් ආජන්ටිනාව දරුණු අභියෝගයකට ලක් වූ අතර, එය ඔවුන් නොසිතූ නොපැතූ අභියෝගයක් බව සහතිකයි. කෙසේ වෙතත් Lionel Messi සමඟ ආජන්ටිනාව ඉතා ඉහළ දක්ෂතා සමඟ පෙරමුණට යන අතරේ, මේ දක්වා ඔවුන් ක්‍රීඩා කළ සෑම තරගයක දීම Messi විසින් ගෝල වාර්තා කිරීමට ද සමත් වී තිබෙනවා. මේ හේතුවෙන් ඊජිප්තුවට තරගය ජය ගැනීමට නම් Messi පාලනය කිරීම පිළිවෙළක් සොයා ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු වෙනවා.
මේ අතර ආජන්ටිනාවට Messi මෙන්ම, ඊජිප්තුව සතු තුරුම්පුව ලෙස Mohamed Sala හඳුන්වා දිය හැකි. ඔහුත් සමඟ ඊජිප්තුව මෙවර ලෝක කුසලානයේ මෙතෙක් ඉතා හොඳ ගමනක් පැමිණෙමින් සිටින අතර, ඔවුන්ගේ ඉතිහාසය පුරා ක්‍රීඩා කළ සාර්ථකම තරගාවලිය මෙය බව සැකයකින් තොරව සඳහන් කල හැකි.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම: ආජන්ටිනාව
ස්විස්ටර්ලන්තය සහ කොලොම්බියාව
ජුලි 08 අලුයම 1.30
ස්විස්ටර්ලන්තය විසින් ඇල්ජීරියාව පරාජය කරමින් මෙම වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, තරගාවලියේ මූලික වටයේ සිට ඔවුන් තමන්ට මුණ ගැසෙන කණ්ඩායම් හමුවේ ඉතා හොඳ තරග රටාවක් පවත්වා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔවුන්ට තවමත් අතිශය ප්‍රබල පාපන්දු කණ්ඩායමක් මුණ නොගැසුණු වගත් රහසක් නොවෙයි.
මේ අතර ස්විස්ටර්ලන්තයට මෙතෙක් තරගාවලියේ හිමි වන අසීරුතම තරගය දැන් කොලොම්බියාව සමඟ ක්‍රීඩා කිරීමට සිදු වනවා. ඉතා ඉහළ ආක්‍රමණශීලී තරග රටාවකට උරුමකම් කියන කොලොම්බියාව විසින් ස්විස්ටර්ලන්තයට දරුණු අභියෝගයක් එල්ල කරනු ඇති බව අනුමාන කළ හැකි අතර, මෙහි දී කොලොම්බියාව වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයින් අතර Luis Diaz පෙරමුණේ සිටිනවා.
කොලොම්බියාව විසින් ඝානා කණ්ඩායම පරාජය කරමින් මෙම තරග වටයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන්ට ස්විස්ටර්ලන්තය පරාජය කරමින් ඉදිරියට යා හැකි නම් 2014 ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව නැවතත් සිය ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළම දක්ෂතාව දැක්වීමට අවස්ථාවක් හිමි වනු ඇති.
- අනුමාන ජයග්‍රාහී කණ්ඩායම: කොලොම්බියාව
මේ අයුරින් මෙවර ලෝක කුසලානයේ කණ්ඩායම් 16 තරග වටය ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙම තරග සියල්ලෙන් පසුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 08 තෝරා ගැනෙනු ඇති.
*.ඉහත සඳහන් සියලු අනුමාන කිරීම් පෞද්ගලික අදහස් මත සිදු වූ ඒවා බව කරුණාවෙන් සලකන්න.
මෙම සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















