බෙන් ස්ටෝක්ස් අත්අඩංගුවට. අළුබඳුන මඟ හැරේ?

624

පසුගිය සඳුදා (35) සිදු වූ සිදුවීමක් හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් සහ ඇලෙක්ස් හේල්ස් එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 4 වන එක්දින තරගයට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇත.

ICC ය ක්‍රිකට් නීති රීති වෙනස් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (මඟින්) තරගවලට අදාළව තිබූ නීති රීතිවල වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර…

බ්‍රිස්ටල් හිදී සඳුදා උදෑසන සිදු වූ මෙම සිදුවීමෙන් අනතුරුව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වය දරන බෙන් ස්ටෝක්ස්ව අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම සිදුවීම වූ අවස්ථාවේ දී ඔහු සමඟ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් ද රැඳී සිට ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනාව අද (27) ඕවල් ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන 4 වන එක්දින තරගයෙන් ඉවත් කර ඇත.

එංගලන්ත හා වේල්සයේ ක්‍රිකට් ආයතනය මෙම සිදුවීම තහවුරු කරමින් පවසා සිටියේ ස්ටෝක්ස්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව පසුදින නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවත් එහි දී හේල්ස් ප්‍රශ්න ඇසීමේ දී පොලිසියට සහාය දැක්වූ බවත් ය.

පොලිසිය මේ පිළිබඳව තොරතුරු නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය සඳුදා ඇතිවූ අවුල් සහගත තත්වයක් යටතේ අවුරුදු 26ක තරුණයෙක්ට ශාරීරික වශයෙන් හානි සිදු කිරීමේ සිදුවීමකට අදාළව සැක පිට අත්අඩංගුවට ගෙන ඉන් අනතුරුව විමර්ශන සිදු කරන අතරතුර නිදහස් කළ බවයි.

ඒ අනුව මෙම සිදුවීම සිදු වී ඇත්තේ පසුගිය ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති තුන්වන ටෙස්ට් තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

“බ්‍රිස්ටල් හිදී සිදු වූ සිදුවීමක් නිසා ස්ටෝක්ස්ව පසුගිය 25 වෙනි සඳුදා උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව පසුදින උදෑසන විමර්ශන කටයුතු යටතේ ඔහුව නිදහස් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඔහු ලන්ඩන් වල පැවැත්වෙන 4 වන එක්දින තරගයට සහභාගේ වෙන්නේ නැහැ. ඉරිදා රාත්‍රියේ දී ස්ටෝක්ස් සමඟ සිටි හේල්ස් ඊයේ උදෑසන පුහුණුවීම්වලට සහභාගී වුනේ නැහැ. ඔහු පොලිසියට විමර්ශනවල දී සහාය දැක්වීමට ස්වේච්ඡාවෙන් නැවතත් බ්‍රිස්ටල් බලා ගියා.”

එංගලන්ත ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඇවෝන් සහ සොමර්සෙට් පොලීසිය ද මෙම සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ;

“සඳුදා පාන්දර 2.35ට පමණ ක්ලිෆ්ටන්හි ක්වීන්ස් පාරේ සිදුවුණ කලහකාරී සිදුවීමක දී 27 හැවිරිදි පුද්ගලයෙක්ගේ මුහුණට ආබාධ සිදුවෙලා තිබෙනවා. ඔහුව එහි දී ප්‍රතිකාර සඳහා ‘Bristol Royal Infirmary’ රෝහලට රැගෙන ගියා. එහි දී ශාරීරික වශයෙන් හානි සිදු කිරීමට අදාළව සැකපිට 26 හැවිරිදි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන පසුව විමර්ශන සිදුකරන අතරතුර ඔහුව නිදහස් කළා.”

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගය අද (27) ඕවල් හිදී පැවැත්වෙන අතර තරග 2-0ක් ලෙස මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.

එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක එඔයින් මෝගන් මෙම සිදුවීමට අදාළව කණ්ඩායමේ තත්වය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ;

“මෙම සිදුවීම නිසා කණ්ඩායමේ අවධානයට බාධාවක් එල්ල වුනා තමයි. නමුත් ඉදිරි තරගය තරගාවලිය ජයග්‍රහණය කරන එක තමයි අපේ ඉලක්කය. මම හිතන විදිහට අපිට ඒ වෙනුවට ක්‍රීඩකයින් තෝරගන්න හොඳ ශක්තිමත් සංචිතයක් සිටිනවා. ඒ නිසා එම සිදුවීමෙන් අපිට එතරම් බලපෑමක් සිදුවෙන එකක් නැහැ.”

මෙම එක්දින තරගාවලියෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම අළුබඳුන ටෙස්ට් තරගාවලිය නැවතත් ජයග්‍රහණය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන අතර එහි දී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස බෙන් ස්ටෝක්ස් කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වනු ඇති බව අපේක්‍ෂා කළේය. කෙසේ නමුත් ඒ සඳහා සහභාගී වන සංචිතය තවමත් නම්කර නොමැති අතර එය අද පැවැත්වෙන එක්දින තරගයේ ආරම්භයට පෙර නම් කිරීමට කටයුතු කෙරෙනු ඇත.

තේරීම් කමිටුව එම සංචිතය තෝරා ගැනීම සඳහා ඊයේ (26) මුණගැසුනු අතර එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් පිළිබඳ අධ්‍යක්ෂ ඇන්දෘ ස්ට්‍රෝස් ප්‍රකාශ කර සිටියේ කණ්ඩායමේ උපනායක බෙන් ස්ටෝක්ස් සහ නොටිංහැම්ෂයර් කණ්ඩායම නියෝජනය කරන පිතිකරු ඇලෙක්ස් හේල්ස් සංචිතයට ඇතුළත් කිරීමට ඉඩ ඇති බවත්, ඔවුන්ව ඇතුළත් කරන්නේ නම් එය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණක් සලකා බලා සිදු කරන බවත් ය.

ස්ටෝක්ස් මීට පෙර ද විනයානුකූල ක්‍රියාමාර්ගවලට ලක්වී ඇති අතර 2011 වසරේ දී රාත්‍රියක දී අත්අඩංගුවට ලක්වී පසුව ඔහුට පොලිසිය විසින් අවවාද කර නිදහස් කරනු ලැබීය. අනතුරුව 2013 වසරේ දී ද එංගලන්ත කණ්ඩායමේ සංචාරයක් අතරතුර රාත්‍රියේ මත්පැන් පානය කිරීමේ සිදුවීමකට අදාළව ඔහුව නැවතත් එංගලන්තය බලා හරවා යැවීමට කටයුතු කළ අතර පසුව 2014 වසරේ දී ද අල්මාරියකට පහර දීම නිසා සිය අත කැඩීමෙන් අනතුරුව ඔහුව පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත් කරනු ලැබීය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට