LPL ක්‍රීඩක වෙන්දේසියට දින තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

5392

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන ප්‍රමුඛතම දේශීය විස්සයි විස්ස ක්‍රිකට් ලීගය වන ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන ජූලි 5 වැනිදා (හෙට) පැවැත්වීමට නියමිතයි.

තෙවැනි වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කරනු ලබන 2022 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 180ක් සහ දේශීය ක්‍රීඩකයින් (පළමු පෙළ, ජාත්‍යන්තර වරම් ලද මෙන්ම හිටපු ජාත්‍යන්තර වරම් ලද ක්‍රීඩකයින්) 173ක් සමඟින් සමස්ත ක්‍රීඩකයින් 353 දෙනෙකු ක්‍රීඩක කෙටුම්පත්කරණය (Draft) හරහා ඉදිරිපත් කරන අතර මාර්ග ගත (Virtual) ක්‍රමයට සංවිධානය කරන මෙම වෙන්දේසිය සඳහා LPL පාලන කමිටු නිලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් (කළමනාකරණ මණ්ඩලය සහ පුහුුණුකරුවන්) සහභාගී වීමට නියමිතයි.

සවස 5 සිට ආරම්භ වීමට නියමිත මෙම වෙන්දේසිය සඳහා වට 20ක් ඇතුළත් අතර ඒ සඳහා ‘‘International Ruby,’ ‘International Sapphire,’ ‘International Diamond ‘A,’ සහ ‘B,’ සහ International Platinum ලෙස ක්‍රීඩකයින් කාණ්ඩ ගත කර තිබෙනවා.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතරට දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍ය නම් පමණක්, කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 6 දෙනෙකු රඳවා තබා ගත හැකි අතර එහි දී මින් පෙර එම කණ්ඩායමේ සිටි දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු රඳවා තබා ගැනීමට හැකියාව පවතිනවා.

කණ්ඩායම් හිමිකරුවන් සඳහා වෙන්දේසියට පෙර Direct Sign යටතේ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු කලින්ම කණ්ඩායම සඳහා ඇතුළත් කර ගත හැකි අතර ඉතිරි ක්‍රීඩකයින් සියලු දෙනා වෙන්දේසිය තුලින් තෝරා ගත යුතු වනවා.

මෙවර LPL තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ පළමු කොටස ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි කොටස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<