ක්‍රිකට් ක්‍රීඩාවේ යදම් බිඳළූ IPL විප්ලවය!

1330

ක්‍රිකට් ක්‍රීඩාව සමඟ තදින් කාවැදුණු ඇතැම් අංගයන් ක්‍රිකට් නීති සහ ආචාර ධර්ම පද්ධතීන් පෝෂණය කිරීමට ඉවහල් වූවා සේම, ක්‍රීඩාවේ විකාශනයට ද මහත් රුකුලක් බවට පත්වූයේ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව ජනතාව අතරට රැගෙන යාමට සුවිසල් දායකත්වයක් ලබා දෙමිනි.

ඒ අනුව මේ වන විට ලොව වටා ක්‍රියාත්මක වන බොහොමයක් පන්දුවාර විස්සයි විස්ස ලීග් තරගාවලි අතරින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කැලැන්ඩරයේ වැදගත්කමින් ඉහළතම වාර්ෂික ඉසව්වක් ලෙස ද එම තරගාවලියට වටිනාකමක් එකතු වී ඇති කාලවකවානුවක් තුල වීම විශේෂත්වයකි.

තවද ඉදිරි දශක කිහිපය තුල දී ක්‍රිකට් ක්‍රීඩාවට නැතුවම බැරි මූලිකාංගයක් බවට IPL තරගාවලිය පත්වනු ඇතැයි දැනටමත් බොහෝ දෙනා මත පළකර සිටින්නේ තරගාවලිය සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සැලකිල්ලට ගනිමිනි.

ඉදිරි වසර පහක කාලසීමාව සඳහා තරගාවලියේ විකාශන අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික සමාගමක් විසින් පසුගිය දා ඉන්දීය කෝටි 48,390ක (ඇ.ඩො. බිලියන 6.2) වටිනාකමින් යුත් වාර්තාගත ගිවිසුමක් BCCI සමඟ අත්සන් කිරීමත් සමඟම ක්‍රිකට් ක්‍රීඩාවට මෙතෙක් කලක් ළඟා කර ගත නොහැකිව තිබූ දැවැන්ත වාණිජමය වටිනාකමක් එකතු කර ගැනීමට තරගාවලි සංවිධායකවරුන් සමත් විය.

මෙහි දී වඩාත් කැපී පෙනෙන සිදුවීම වන්නේ අවසන් වූ වසර 5 සඳහා විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගතව තිබුණේ නව ගිවිසුමට ප්‍රාකාරව එකඟ වූ මුදලට සාපේක්ෂව ඉන් හරි අඩකඩක් වඩා අඩු මුදලකට වීමයි.

තවද ඉදිරි වසර අටක කාලපරිච්ඡේදය පුරාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කිරීමට අපේක්ෂාවෙන් පසුවන ක්‍රිකට් තරගාවලි 18ක් සඳහා විකාශන අයිතිය පවරා තිබුණේ ඇ.ඩො. මිලියන 1.1ක් වැනි සාපේක්ෂව අඩු මුදලකට වීම ඒ අනුව බොහෝ දෙනා විමතියට පත්කරන කාරණයක් බවට පත්ව තිබේ.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ තීරණාත්මක සාධකයක් ලෙස IPL තරගාවලිය හඳුන්වා දීමට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත.

2008 වසරේ දී Praveen Kumar විසින් Saurav Ganguly වෙත යැවූ පළමු පන්දුවෙන් ආරම්භ වූ IPL තරගාවලිය මේ වන විට සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම එක රැයකින් වෙනස් කිරීමට තරම් බලසම්පන්න වී තිබෙන්නේ ලොව වෙන කිසිදු තරගාවලියකට ආකර්ෂණය කරගැනීමට නොහැකි වූ අන්දමේ ප්‍රේක්ෂක සහ අනුග්‍රාහක පිරිසක් ඇදබැඳ ගැනීමට ඔවුන්ට හැකි වූ නිසාවෙනි.

IPL තරගාවලිය කරළියට පැමිණීමට ප්‍රථමයෙන් ඔබත් මගේත් ක්‍රිකට් ලෝකය සීමා වී තිබුණේ අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට පමණක් වූවත් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සම්ප්‍රාප්තියත් සමඟින් සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයම විප්ලවයකට භාජනය වූයේ මෙම තරගාවලිය සතු ශක්‍යතාවය පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලෝක ප්‍රජාව වෙත ලබා දෙමිනි.

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<