තහනම් පාරෙන් ලබා ගත්ත පදක්කම් ශ්‍රී ලංකාවට භාර දෙන්න යයි

265

පාකිස්තාන ඔලිම්පික් කමිටුව විසින් නිමා වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී දිනා ගත් පදක්කම් 11ක් (රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 9ක්) නැවත නේපාල ඔලිම්පික් කමිටුව වෙත යැවීමට කටයුතු කර ඇතැයි පාකිස්තානු මාධ්‍ය වාර්තා කර සිටිනවා.

නිමා වූ තරගාවලියේ දී 400m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මෙහෙබූබ් අලී, 110m කඩුලු පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොහොමඩ් නයීම් සහ 100m ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් සමී උල්ලාහ් යන ක්‍රීඩකයන් මෙලෙස තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වූ බවට පසුගිය වසරේ මැයි මාසයේ දී නේපාල ඔලිම්පික් කමිටුව විසින් දැනුම් දී තිබුණා.

පසුව එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩකයන් විසින් B සාම්පල පරික්ෂාවක් ද සිදු කළ නමුත් එහි ප්‍රතිඵලය ද පෙර වාර්තාවට සමාන වූ නිසාවෙන් ඔවුන් දිනා ගත් පදක්කම් නැවත ලබා ගැනීමට තීරණය කර තිබුණා.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එම තහනම් උත්තේජක ලබා ගත් ක්‍රීඩකයන් හට ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනයේ අනුමැතිය ඇතුව වසර හතරක තරග තහනමක් පැනවීමට ද නේපාල ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබුණා.

පසුව නේපාල ඔලිම්පික් කමිටුව විසින් එම ක්‍රීඩකයන් විසින් දිනා ගත් පදක්කම් සහ ඔවුන් සහභාගි වූ සහය දිවීමේ තරගවල පදක්කම් නැවත භාර දෙන ලෙස පාකිස්තාන ඔලිම්පික් කමිටුව වෙත දන්වා තිබුණා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ,

“අපි රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් නවයක් ඇතුළු මුළු පදක්කම් 11ක් ආපසු ලබා දී තියෙනවා. එම ක්‍රීඩකයන් සහය දිවීමේ කණ්ඩායම්වල සාමාජිකයන් වූ නිසා එම පදක්කම් ද ඇතුළුව. අප ඒ සියල්ල නේපාල ඔලිම්පික් කමිටුව වෙත යැව්වා.”

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 110m කඩුලු පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රොෂාන් ධම්මිකට හිමි වූ අතර 400m කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කළ අසංක ඉන්ද්‍රජිත් එම ඉසව්වේ සිව්වැන්නා ලෙස ද තරගය අවසන් කරන ලදි.

ඒ අනුව මෙම පාකිස්තාන ක්‍රීඩකයන්ගේ පදක්කම් නැවත ලබා ගැනීම් නිසාවෙන් රොෂාන් ධම්මික හට 110m කඩුලු පැනීම රිදී පදක්කමත්, අසංක ඉන්ද්‍රජිත් හට 400m කඩුලු පැනීමේ ලෝකඩ පදක්කමත් හිමි වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<