උෂාන් තිවංකගෙන් නව ජාතික වාර්තාවක

178

ඇමරිකානු සමස්ත විශ්වවිද්‍යාල ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලේ දෙවැනි අදියරේ තරග සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක උෂාන් තිවංක ගෘහස්ථ උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව නැවත වරක් බිඳ හෙළීමට සමත් වුනා.

එම ඉසව්වේ දී මීටර් 2.26ක දක්ෂතාවයක් දැක්වූ උෂාන් පසුගිය මාසයේ දී එම ඉසව්වේ මීටර් 2.25ක දස්කමක් දක්වමින් ඔහු විසින්ම පිහිටවූ ජාතික ගෘහස්ථ වාර්තාව බිඳ හෙළීමට සමත් ව තිබුණා.

එමෙන්ම එම තරගාවලියේ උස පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද උෂාන් සමත් වූ අතර ඔහුගේ එම දස්කම මෙරට ක්‍රීඩකයෙකු උස පැනීම් ඉසව්වේ (ගෘහස්ථ සහ එළිමහන්) වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාවය ලෙස ද සටහන් වුනා.

ඒ අනුව ඔහුගේ එම දක්ෂතාවය දෙවැනි වූයේ ජාතික වාර්තාවට හිමිකම් කියන මංජුල කුමාර දක්වා ඇති මීටර් 2.27ක දක්ෂතාවයට පමණි.

ඇමරිකාවේ ජීවත් වෙමින් අධ්‍යාපන කටයුතුවල නිරත වන අතරවාරයේ පුහුණුවීම් කටයුතු සිදු කරන උෂාන් පසුගිය දා පැවති ඇමරිකානු පුහුණුකරුවන්ගේ සම්මාන උළෙලේ දී වසරේ පිටිය ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම අවසන් කාලසීමාවේ දී දක්වන ලද ඉහළ දස්කම් නිසාවෙන් උෂාන් මේ වන විට ලෝක වර්ගීකරණයෙහි පළමු 20 දෙනා අතරට පැමිණීමට සමත්ව ඇති අතර ආසියානු වර්ගීකරණයෙහි මුල් ස්ථානයෙහි පසු වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<