“පාකිස්තානයේ දී අපේ මූලික අවධානය ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාවයි” – SLC

149

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ ලබන මාසයේ අග දී පැවැත්වෙන 3 වන සහ අවසන් පන්දුවාර විස්ස තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරට පිටත් කර යැවීමට පෙර, එහි පවතින ආරක්‍ෂක තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සලකා බැලෙනු ඇත.

සධීර සහ රොෂේන් පාකිස්තාන ටෙස්ට් තරගාවලියට කැඳවයි

මේ වන තෙක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්ණ නොදැරූ දක්ෂ පිතිකරණ යුගලයක් වන සධීර සමරවික්‍රම…

2009 වසරේ පාකිස්තාන සංචාරයේ දී ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් තරගයක් සඳහා මෙවර පාකිස්තානය බලා පිටත්ව යන්නේ පළමු වරට වේ. එම ප්‍රහාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකු ආබාධවලට ලක්විය.

“අපි අවසන් තරගය පාකිස්තානයේ පවත්වන්න තීරණය කරලා තියෙන්නේ. නමුත් ටෙස්ට් තරගාවලිය අවසන් වුණාම අපි පාකිස්තානයේ තිබෙන ආරක්‍ෂක තත්වය පිළිබඳව විමර්ශනය කරනවා. ඊට පස්සේ තමයි අපි අවසන් තීරණය ගන්නේ. අපි ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ආරක්‍ෂාව පිළිබඳ විශේෂඥයින් කිහිප දෙනෙක්ව පාකිස්තානයට යවනවා. ඒ අනුව ඔවුන්ගේ වාර්තාව එම තරගය පවත්වන්න සති දෙකකට කලින් අපිට ලැබෙනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ (21) මාධ්‍ය හමුවේ පවසා සිටියේ ය.

පසුගිය දා අවසන් වූ ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ, තරග අංශ 3 යටතේ පැවති තරග 9ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ටෙස්ට් සංචිතය එළඹෙන ඉරිදා (24) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යනු ඇත. තරගාවලිය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 5කින් සහ පන්දුවාර 20 තරග 3කින් සමන්විත වන අතර එහි අවසන් පන්දුවාර 20 තරගය පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නික් පෝතස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ඉන්දියානු කණ්ඩායම හමුවේ මුහුණ දුන් දැවැන්ත පරාජය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ධෛර්යය ඉහළ යාම කෙරෙහි ඉවහල් වූ බවයි.

“ඉන්දියානු කණ්ඩායම හමුවේ කණ්ඩායම දැවැන්ත පරාජයකට මුහුණ දුන්නත් ඒක කණ්ඩායම එක් වෙන්න හේතුවක් වුනා. අපි මැතිව්ස්ව ගත්තොත්, ඔහු ආබාධයකට ලක්වුණේ පුහුණුවීම් කරද්දී තරුණ ක්‍රීඩකයෙක්ට (විශ්ව ප්‍රනාන්දු) උදව් කරන අතරතුර. කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් තරුණ ක්‍රීඩකයෙක්ට උදව් කරන්න උත්සාහ කරන එකෙන්ම පේනවා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර තියෙන්නේ කොයි වගේ කිට්ටු සම්බන්ධයක් ද කියලා.”

නික් පෝතස් මහතා මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් පැවසීය.

මැතිව්ස් ප්‍රථම තරගයට නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද (20) උදෑසන පුහුණුවීම් අතරතුර පාදයේ …

20 වැනිදා ඇන්ජෙලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු සහභාගී නොවන අතර ඒ අනුව ඔහු කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව නොයන නිසා තරගය සඳහා නම් කළ සංචිතයට ඔහුව ඇතුළත් කර නොමැත. එමෙන්ම ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේ තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය, එනම් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු දිවා රාත්‍රි ටෙස්ට් තරගය සඳහා මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි.

“මැතිව්ස් කණ්ඩායම සමඟ පිටත්ව යන්නේ නැහැ. ඔහු කොළඹ සිටින්නේ. දෙවැනි ටෙස්ට් තරගයට පෙර ඔහු යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කරනවා. ඒකෙ දී ඔහු ක්‍රීඩා කරන්න සුදුසුයි කියලා තීරණය වුනොත් ඔහු දෙවන ටෙස්ට් තරගයට කණ්ඩායම සමඟ එක්වෙයි.”  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<