ඒ ඔක්කොම පටන් ගත්තේ Paulo Dybala (පවුලෝ ඩිබාලාගේ) සීයා ආජන්ටිනාවේ තිරිඟු වත්තක වැතිරිලා ඉද්දීයි. දවස් ගණනකින් ඔහුගේ කුසට අහරක් ලැබී තිබුණේ නැහැ.
ඔහුව දැකපු ගොවීන් පිරිසක් ඔහුව බේරාගෙන තිබුණා. ඔහු පෝලන්තයෙන් ආජන්ටිනාවට පලා ආපු සරණාගතයෙක්. හීනවලට යන හැටි ඔහුගේ පුත් ඇඩොල්ෆෝට කියලා දුන්නේ ඔහුයි.
අවුරුදු ගානකට පස්සේ එක දවසක ඇඩොල්ෆෝ හිතුවා ඔහුගේ පුතෙකු කවදාහරි පාපන්දු ක්‍රීඩා කළ යුතුයි කියලා. වත්තේ පිටියේ නෙමෙයි, ජාත්‍යන්තර තලයේ. පවුලේ පුංචිම පුතා, පවුලෝ ඩිබාලා හැදුණේ වැඩුණේ ඇඩොල්ෆෝගේ හීනත් කර තියාගෙන.
පවුලෝට වයස අවුරුදු 14ක් විතර වෙනකොට ඔහුවත් එක්කරගෙන හැතැප්ම 70කට වඩා ගමන් කරන්න ඇඩොල්ෆෝට සිදු වුනේ පවුලෝගේ පුහුණුවීම් වෙනුවෙන්. ඒ හැමදෙයක් ඇතුළෙම ඇඩොල්ෆෝට හීනයක් තිබුණා. පවුලෝ ඒ හීනය වෙනුවෙන් වැඩ කළා.

ඒත් එක්කම ඔහුගේ පෝලන්ත සම්භවය නිසා පෝලන්තය නියෝජනය කරන්නටත්, මවගේ පාර්ශවයේ මිත්තණියගේ ඉතාලි සම්භවය නිසා ඉතාලිය නියෝජනය කරන්නටත්, පුරවැසියෙකු වීම නිසා ආජන්ටිනාව නියෝජනය කිරීමටත් ඔහුට අවස්ථාව තිබුණා. ඔහු ඔහුගේ මව එක්ක කතා කළා. ඔවුන් ආජන්ටිනාව තෝරාගත්තා.
Lionel Messi (ලියොනල් මෙසී) කියන ආජන්ටීනියානු පාපන්දු පුරාවෘත්තයෙන් පස්සේ ආජන්ටිනාවට පායන නවතම තරුව පවුලෝ ඩිබාලා කියලයි බොහෝ දෙනා කියන්නේ. ඔහු ඉතාලියේ Roma (රෝමා) පාපන්දු ක්‍රීඩා සමාජයට ඇතුළත් වීමට ගිවිසුම් අත්සන් කිරීමත් එක්ක මේ වෙනකොට රෝමා ප්‍රේක්ෂකයන් අතිශය උද්දාමයෙන් පසුවෙනවා.
පහුගිය ජූලි 26 වැනිදා ඔහුගේ නවතම ක්‍රීඩා සමාජයේ බාල, තරුණ, මහලු ප්‍රේක්ෂකයන් ඔහුගේ පැමිණීමෙන් පස්සේ එය සමරුවේ කොහොමද කියලා බලාගෙන ඉන්න ඔහුට අවස්ථාව ලැබුණා.
ගිනිකෙළි සංදර්ශනවලින් අහස වර්ණවත් වුනා. ඔහුගේ නම ගීතයක් වගේ කියවෙනවා ඔහුට ඇහුණා. පවුලෝ ග්ලැඩියේටර් චිත්‍රපටයට ගොඩක් ආස කරන කෙනෙක්. ඒ හැඟීම විනාඩි 30ක් විතර පුරාවට විඳගන්න ඔහුට අවස්ථාව ලැබුණා.

“මට විතරක් නෙමෙයි, ඕනෑම කෙනෙකුට නරක දේවල් සිදුවෙනවා. ජිවිතේ අමාරු වෙලාවල්වල දී ඔබ ඉදිරියට යන්න ඕන. ග්ලැඩියේටර් කෙනෙක් මාස්ක් එකක් දාගෙන යනවා වගේ ගිහින් සටන් කරන්න ඕන. ඒක තමයි මම පෙන්නන්න හදපු අදහස. ප්‍රේක්ෂකයන් ඒකට කැමති වුනා, තේරුම් ගත්තා.”, Guardian පුවත්පතට ඔහු වරක් එහෙම කිව්වා.
“ගොඩක් වෙලාවල්වල දී ඔබට අමාරු වෙලාවල් එනවා. ඔබ ඉදිරියට ගිහින් සටන් කළ යුතු වෙනවා, මොනවා වුනත්. පාපන්දුවල දී විතරක් නෙමෙයි, ජීවිතයේ දී.”, පවුලෝ දක්ෂ විදියට එය විස්තර කළා.

Juventus (ජුවෙන්ටස්) පාපන්දු සමාජයට ක්‍රීඩා කරමින් හිටපු පවුලෝ, Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) වගේ පුරාවෘත්තයක් එක්ක කරට කර ක්‍රීඩා කරන්න සමත් වුනේ වයස අවුරුදු 25ක් 26ක් වගේ කාලෙක දී. ඒ කණ්ඩායම හැර යද්දී Juve ප්‍රේක්ෂකයන් ඔහුට ලබා දුන්නේ හැඟීම්බර සමුගැනීමක්. ඒ තමයි ඔහු උපයා ගත් ආදරය. කෙසේ වෙතත් මේ වෙනකොට ඔහුගේ සියලු සිහින Roma පාපන්දු සමාජය වටා තමයි ගොඩනැගෙන්නේ.
Roma පාපන්දු සමාජය ඔවුන්ගේ අවසන් Serie A ශූරතාවය ජයග්‍රහණය කළේ 2001 වසරේ දීයි. මේ වෙනකොට අවුරුදු 21ක්ම ගෙවිලා ගිහින්. 21 කියන්නේ පවුලෝගේ ජර්සි අංකය. Jose Mourinho (හොසේ මරීනියෝ) කියන විශිෂ්ට කළමනාකරුවා ඔහුව තෝරාගත්තේ යම්කිසි හේතුවකට විය යුතුමයි. සමහර විට නුදුරු අනාගතයේ දී ම ඉතිහාසය අලුතින් ලියැවේවි.
සාමාන්‍යයෙන් දඬුවම් කලාපයේ දී බොරුවට ඇද වැටිලා දඬුවම් පහරවල් සොරාගන්න පාපන්දු ක්‍රීඩකයන් අතරේ පවුලෝ එහෙම නොකරන කෙනෙකු හැටියට ප්‍රසිද්ධයි.
“මම ඒ හරියේ දී පෙනල්ටියක් ගන්න කියලා මාව බිම වට්ටගන්නේ නෑ. මං විශ්වාස කරන විදියට අපි උත්සාහ කරන්න ඕන සාප නොලබා, තරහ නොලබා දේවල් කරන්න.”, එය ඉතාම අගේ ඇති කියමනක්.
- සෙල්ටික්ස්හි හොඳම ක්‍රීඩිකාව වූ ජසින්තා ගලබඩආරච්චි
- ළමා මෙහෙකරුවෙකු වූ මොහොමඩ් ෆාරා
- ඇලිසන් ෆීලික්ස් සුවිශේෂී වන්නේ ඇයි?
“මැණික” විදියට ප්‍රේක්ෂකයන් විසින් හඳුන්වන පවුලෝ මේ වෙනකොට හැම අතින්ම සූදානම්.
“ඉතාලියානුවෝ ටිකක් හැඟුම්බරයි.”, ඔහු එහෙමයි කියන්නේ. කෙසේ වෙතත් ඒ හැඟුම්බර ඉතාලියානුවන්ගෙන් දිනා ගත යුත්තේ කුමන හැඟුම්බරභාවයක් ද කියලා පවුලෝ ඉක්මණින්ම තීරණය කරාවි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















