ශූරතාවය නිලූක කරුණාරත්නට

275

ශ්‍රී ලංකාවේ ජාතික බැඩ්මින්ටන් ශූරයා වන නිලුක කරුණාරත්න 32 වැනි බ්‍රසීල අන්තර්ජාතික බැඩ්මින්ටන් ශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළින්ම රඳවා තැබීමට ඊයේ (3) සමත් විය. ඒ පිරිමි ඒකල අංශයේ ශූරතාවය තමන් සතු කර ගනිමිනි.

ගමේ සහ නගරයේ යෞවනයන් කරට කර සටනක

2017 පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම තෝරා ගැනීමේ තරග…

නිලූක කරුණාරත්න අතින් අවසන් මහා තරගයේ දී පරාජයට පත්වූයේ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණි ගත කිරීම් හි 56 වන ස්ථානයේ පසුවූ යොගොර් කොය්ර්ල්හෝ ය. රිදී පදක්කමෙන් පමණක් ඔහුට සැනසීමට සිදුවීමත් සමඟම එය මෙම වසරේ ඔහු ලද ප්‍රථම රිදී පදක්කම බවට ද පත්විය.

බ්‍රසීල අන්තර්ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය යනු ලෝකයේ මුල්පෙළේ ශ්‍රේණි ගත කිරීම් වල සිටින විශිෂ්ටතම ක්‍රීඩකයන් සහභාගී වන ප්‍රමුඛතම අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියකි. මෙම තරගාවලිය ජගත් බැඩ්මින්ටන් සංගමයේ මගපෙන්වීම හා අධීක්ෂණය මත සංවිධානය කරනු ලබන තරගාවලියකි.

නිලූක තරගාවලියේ සහභාගී වූ ප්‍රථම වටයේ තරගයේ දී ප්‍රතිවාදියා වූයේ ඉගොර් ඉබ්‍රාහිම් ය. ඔහුව ලකුණු 21 -13ක් සහ 21-11ක් ලෙස නිලූක පහසුවෙන්ම පරාජය කරන ලදී. ඉන් අනතුරුව දෙවැනි වටයේ දී නිලූක ඇඩම් මෙන්දර්ක්ව ලකුණු 21-10ක් සහ 21-10ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී මැක්සිම් මොරේස්ව ලකුණු 21-12ක්  සහ 21-19ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුවෙනි. අවසන් පූර්ව වටයේ දී නිලූකගේ ප්‍රතිවාදියා වූයේ ලුකා ව්රෝබය. එම සටනින් නිලූක ජය ගත්තේ ලකුණු 21-19ක් සහ 21-13ක් ලෙසිනි. ඒ සමඟම ශ්‍රී ලංකාවේ ජාතික ශූරයා බ්‍රසීල අන්තර්ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබීය.

අවසන් මහා තරගය නිලූක මීට පෙර මුහුණ දුන් තරග තරම් ලෙහෙසියෙන් ජයග්‍රහණයක් බලාපොරොත්තු විය හැකි තරගයක් නොවිය. එම තරගයේ දී නිලූකගේ ප්‍රතිවාදියා අන්තර්ජාතික ශ්‍රේණි ගත කිරීම් හි නිලූකට වඩා බොහෝ ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෙකි. ඔහුගේ දක්ෂතාවය ප්‍රකට කරමින් අවසන් මහා තරගයේ පළමු වටයේ තරගයෙන් නිලූකව ලකුණු 9-21ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට යොගොර් සමත්විය. නමුත්, ඉන් මානසිකව ඇද නොවැටුණු ශ්‍රී ලංකා ජාතික ශූරයා තම රන් පදක්කම් සිහිනය බොඳ නොවන බව පෙන්වමින් දෙවන වටයේ දී ප්‍රතිවාදියාට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත්විය. ඒ ලකුණු 21-14ක් ලෙස ඔහුව පසුපසට ඇද දමමිනි. ඒ සමඟින්ම ඉන් පසුව ආරම්භ වුනු අවසන් වටය අතිශයින් තියුණු මුහුණුවරක් ගත්තේය. අවසන් මොහොත දක්වාම ජය කාටදැයි කිසිවකුටත් සිතාගත නොහැකිවිය. තරගය නිමා වුයේ නිලූක කරුණාරත්න අතිශය තියුණු තරගයකින් අනතුරුව ශූරතාවය තමන් සතුකරගනිමිනි. ඒ ලකුණු 21-18ක් වශයෙන් බ්‍රසීල ජාතික යොගොර් කොය්ර්ල්හෝ පරාජය කරමිනි.

එම ජයග්‍රහණයත් සමඟින් අන්තර්ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණි ගත කිරීම් හි නිලූකට උසස් වීමක් හිමි විය. ඒ ශ්‍රේණි ගත කිරීම් හි 64 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමත් සමඟිනි. මෙය නිලූක 2013 වර්ෂයෙන් පසු අන්තර්ජාතික ශ්‍රේණි ගත කිරීම් හි මෙතරම් ඉහළට පැමිණි ප්‍රථම අවස්ථාව විය. මිට පෙර නිලූක කරුණාරත්න 2013 වසරේ ඔක්තෝබර් වන විට එහි 52 වන ස්ථානයේ පසුවිය.

තරග සාරාංශය :

1 වටය – ඉගොර් ඉබ්‍රාහිම්ව පැරදු නිලුක කරුණාරත්නට ජය (21-13, 21-11)
2 වටය – ඇඩම් මෙන්දර්ක්ව පැරදු නිලුක කරුණාරත්නට ජය (21-10, 21-10)
අර්ධ අවසන් පුර්ව තරගය – මැක්සිම් මොරේස්ව පැරදු නිලුක කරුණාරත්නට ජය (21-12, 21-19)
අවසන් පුර්ව තරගය – ලුකා ව්රෝබව පැරදු නිලුක කරුණාරත්නට ජය (21-19, 21-13)
අවසන් තරගය – යොගොර් කොය්ර්ල්හෝව පැරදු නිලුක කරුණාරත්නට ජය (9-21, 21- 14,21-18)

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට