පාකිස්තාන දඟපන්දු යවන්නාට බරපතළ චෝදනාවක්

1327

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමට සහය දීම සම්බන්ධයෙන් පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Yasir Shahට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන පොලිස් වාර්තා පවසා සිටියේ Yasir Shahගේ මිතුරෙකු වන Farhan නැමති අයෙක් විසින් තුවක්කුවක් පෙන්වා දැරියක පැහැරගෙන ගොස් අපයෝජනය කළ බවත්, එය වීඩියෝ ගත කළ බවත් මෙම සිදුවීමෙන් පසුව තමාට තර්ජන කළ බවත් අදාළ සිදුවීමට මුහුණ දුන් දැරිය චෝදනා කර තිබෙනවා.

ඒ අනුව පාකිස්තානු ටෙස්ට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක Yasir Shahට සහ ඔහුගේ මිතුරාට එරෙහිව දැරියක් පැහැර ගෙන යාම, අතවර කිරීම සහ තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය චෝදනා ගොනු කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැරිය විසින් පාකිස්තාන පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් පසු ලාහෝර්හි ෂාලිමර් පොලිස් ස්ථානය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක Yasir Shah තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.

Yasir Shah මෙම සිදුවීමේ දී Farhan නම් මිතුරාට උදව් කළ බවත්, පසුව ඔහු සමඟ එක්ව මේ සම්බන්ධයෙන් හඬක් නැගුවොත් හෝ පොලිසියට පැමිණිලි කළහොත් ඔවුන් සතු වීඩියෝ සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන බවට තර්ජනය කළ බවත් දැරිය චෝදනා කර තිබෙනවා.

පාකිස්තාන පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව දැරිය පවසා ඇත්තේ තමන් Yasir Shah WhatsApp හරහා සම්බන්ධ කරගෙන ඔහුගේ උදව් ඉල්ලා සිටි විට ඔහු තමාට සිනාසී මුළු ප්‍රශ්නය ගැනම නිහඬව සිටින ලෙස තමාට පැවසූ බවයි.

ඉන් අනතුරුව තමන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට ගිය අවස්ථාවේ දී Yasir Shah නැවතත් තමා සම්බන්ධ කරගෙන මෙම සිදුවීම අමතක කර නිහඬව සිටියහොත් වසර 18ක කාලයක් සඳහා මහල් නිවාසයක් සහ මාසික වියදමක් ලබා දීමට ඉදිරිපත් වූ බව ද දැරිය කියා සිටිනවා.

ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින නිසා Yasir Shah පසුගිය දා නිමා වූ බංගලාදේශ ටෙස්ට් සංචාරය සඳහා සහභාගී වූයේ නැහැ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් සපයමින් ESPNCricinfo පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) උපුටා දක්වා තිබුණා. එහි දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මෙසේ අදහස් දක්වා සිටියා.

අපේ ක්‍රිකට් කණ්ඩායමේ මධ්‍යම ගිවිසුම්ගත ක්‍රීඩකයෙකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව අපිට වාර්තා වුනා. පාකිස්තාන ක්‍රිකට් ආයතනය විදිහට අපි දැනට ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස්කරමින් ඉන්නේ. නියමිත තොරතුරු සම්පූර්ණයෙන් සොයා ගැනීමෙන් අනතුරුව ඒවා අධ්‍යනය කරලා අවසානයේ අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා.”

2002 වසරේ දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට පිවිසෙන Yasir Shah මේ දක්වා පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 46ක්, එක්දින තරග 25ක් සහ විස්සයි විස්ස තරග 2ක් ක්‍රීඩා කර තිබෙනවා. එම තරගවල දී ඔහු ටෙස්ට් කඩුලු 235ක් සහ එක්දින කඩුලු 24ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<