ඉන්දියාවේ පසුබෑම ගැන Wasim Akramගෙන් ප්‍රකාශයක්

4097

පසුගිය දා නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දියාවේ දස්කම් පිළිබඳව හිටපු පකිස්තාන පුරාවෘත්තයක් වන Wasim Akram පසුගිය දා අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ ඉන්දියාව සිය ක්‍රීඩා විලාසය පිළිබඳව ආපසු සිතා බැලිය යුතු බවයි.

ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර ප්‍රබලම කණ්ඩායමක් ලෙස සැලකූ නමුත් ඔවුන් අවසන් පූර්ව වටයට නොපැමිණීම කැපී පෙනෙන කරුණක් වුනා. වසර අටකට පසු ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයට පැමිණීමට අපොහොසත් වූ පළමු අවස්ථාව මෙයයි.

ඉන්දියාව ඔවුන්ගේ ආරම්භක තරගයේ දී පාකිස්තානයට එරෙහිව කඩුලු 10ක පරාජයකට ලක්වුනා. ඉන් අනතුරුව නවසීලන්තයට එරෙහිව පැවති තරගය පරාජය වීමටත් ඔවුන්ට සිදු වුනා. පසුව ඔවුන් ඇෆ්ගනිස්ථානය, නැමීබියාව සහ ස්කොට්ලන්තයට එරෙහිව ප්‍රබල ජයග්‍රහණ ලබා ගත්ත ද, එය ඔවුන් අවසන් පූර්ව වටයට ගෙන ඒමට ප්‍රමාණවත් වුනේ නැහැ.

ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන අසමත් වීම පිළිබඳව අදහස් දක්වමින් Wasim Akram සිත්ගන්නා කරුණක් ඉදිරිපත් කර සිටියා. ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගයේ දී Shaheen Afridiගේ මුල් පන්දුවාර කීපය හමුවේ ඉන්දීය කණ්ඩායම විශාල පීඩනයකට ලක්ව සිටියා.

Shaheen Afridi විසින් Rohit Sharma ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත් අතර පසුව KL Rahul ද අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ඔහු සමත් වුනා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වූ අතර පාකිස්තානය විසින් කිසිදු කඩුල්ලක් නොදැවී එම ලකුණු ප්‍රමාණය පසුකර යාමට සමත් වුනා.

ඉන්දියාව ප්‍රබල කණ්ඩායමක්. ඔවුන් ලෝක කුසලානය දිනන්න ලොකු හැකියාවක් තිබුණ කණ්ඩායමක්. ඒ වගේම මම හිතන්නේ පළමු තරගයෙන් පස්සේ, විශේෂයෙන්ම Shaheen Afridiගේ පළමු ඕවරයෙන් පස්සේ ඔවුන්ට කිසි දවසක නැවත යථා තත්වයට එන්න බැරි වුනා. එවිට ඔබට පෙනෙනවා ඔවුන් වැඩි වැඩියෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අවධානය යොමු කරන බවට බොහෝ දෙනා කියලා තිබුණා”, Wasim Akram Sport360 විසින් පටිගත කළ වීඩියෝවකට අදහස් දක්වමින් පවසා සිටියා.

ඔවුන්ගේ ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දී ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රීඩා කරනවා. සමහර විට ඔවුන්ට ප්‍රශ්නය වුනේ ඔවුන් ඉතා සුළු පිරිසකට විතරයි මුහුණ දීලා තිබුණේ. පාකිස්තානය සහ ඉන්දියාව ගත්තම ඔවුන් ද්වීපාර්ශ්වික ක්‍රිකට් ක්‍රීඩා කර නැති තරම්. Shahen, Harris Rauf හෝ Hassan Ali ට මුහුණ දීලා ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙක් විතරයි.”

ඉන්දීය ක්‍රීඩකයින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන නමුත් ලොව පුරා අනෙකුත් තරගාවලි ක්‍රීඩා නොකිරීම හේතුවෙන් ඔවුන් ලොව පුරා සිටින ක්‍රීඩකයින්ට එරෙහිව තරග කිරීමට බාධාවක් වන බව Wasim Akram වැඩිදුරටත් පවසා සිටියා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පමණක් ක්‍රීඩා කිරීම ඉන්දීය කණ්ඩායමේ ඉදිරි ගමනට නිවැරදි ප්‍රවේශය නොවිය හැකි බව Wasim Akram පවසා සිටියා. එය ඉන්දීය ක්‍රිකට් ආයතනය සිතා බැලිය යුතු දෙයක් බව ද ඔහු පවසා සිටියා.

ඔබ විවිධ රටවල ලීග් තරගාවලි ක්‍රීඩා කරන විට අත්දැකීම් ලැබෙනවා. එකක් හෝ දෙකක් ක්‍රීඩා කරන්න ඕනේ. සෑම ලීගයක්ම ක්‍රීඩා කරන්නැයි මම කියන්නේ නැහැ. අවම වශයෙන් ඔබේ ක්‍රීඩකයින්ට අනෙක් පන්දු යවන්නන්, විවිධ තණතීරු, විවිධ කණ්ඩායම්, විවිධ තත්වයන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට අත්දැකීමක් ලැබෙනවා”, Wasim Akram පවසා සිටියා.

මම හිතන්නේ ඔවුන් ඔවුන්ගේ වැරදි ගැන නැවත සිතා බලන්න ඕනේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කියන්නේ යනු අංක 1 ලීගය. මුදල් අනුව, දක්ෂතා අනුව ඒක ඉතාමත් ඉහල තරගාවලියක්. නමුත් ඔවුන් ක්‍රීඩකයින්ට අවම වශයෙන් ලොව පුරා තවත් ලීග් තරගාවලි එකකට හෝ දෙකකට ඉඩ දෙන්න ඕනේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<