ජිමී – ක්‍රෝලි සුසංයෝගයෙන් කැපී පෙනෙන දස්කම්

139
Pakistan tour of England, 2020

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සවුතම්ප්ටන්හීදී පැවති තෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (25) නිමාවට පත්විය. ඒ තරගය පුරාවටම විටින් විට බාධා වූ වර්ෂාවේ ප්‍රතිඵලයක් වශයෙනි. එංගලන්තය මෙම තරගයට අවතීර්ණ වූයේ 1-0ක් වශයෙන් තරගාවලියේ පෙරමුණේ පසුවෙමිනි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට එංගලන්ත නායක ජෝ රූට් තීරණය කළේය.

නමුත් අසාර්ථක ආරම්භයක් ලබා ගත් එංගලන්ත ආරම්භක පිතිකරු රොරී බර්න්ස් ලකුණු 6කට ආ විගසින් දැවීගි යේ ලකුණු පුවරුව 12/1ක් වශයෙන් සටහන් කරමිනි.

අනතුරුව ඩොම් සිබ්ලි හා එක්වූ සක් ක්‍රෝලි දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක් එක් කළේය. එහි දී ආරම්භක පිතිකරු සිබ්ලිට දායකත්වය දැක්වීමට හැකියාව ලැබුණේ ලකුණු 22කින් පමණක් වන අතර මුළු ලකුණු සංඛ්‍යාව 73ක් වන විට ඉනිමේ දෙවන කඩුල්ල වශයෙන් ඔහු දැවී ගියේය.

>> බෝල්ට් නිසා ගේල් කොරෝනා පරීක්ෂණයකට මුහුණ දෙයි

පසුව පිටියට පිවිසියේ නායක ජෝ රූට ය. නමුත් ලකුණු 29කින් ඔහුගේ ඉනිමත්, ලකුණු 3කින් අංක 5 පිතිකරු ඔලී පෝප්ගේ ඉනිමත් එක ආසන්නයේ දැවී ගියේ අනෙක් අන්තයේ සක් ක්‍රෝලිව හුදකලා කරමිනි. එවිට එංගලන්ත ලකුණු පුවරුව කියවුණේ 127/4ක් වශයෙනි.

එහෙත් ඉන්පසු පිටියේ එක්වූ ජොස් බට්ලර් සමඟ එක්වූ ක්‍රෝලි වැටී තිබූ එංගලන්ත ඉනිම කෙමෙන් කෙමෙන් ගොඩනැගීමට සමත් වූයේ පන්දු තෝරාබේරා ගනිමිනි. එහි දී ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් දැවැන්ත ලකුණු 359ක සබඳතාවයක් පැවැත්වීමට සමත්වූයේ පාකිස්තාන පන්දු යවන්නන්ව පිටියේ අන්ත අසරණ කරමිනි. 

අතිවිශිෂ්ට ඉනිමක් දියත් කළ සක් ක්‍රෝලි දැවැන්ත ලකුණු 267ක් රැස් කිරීමට සමත් වූයේ හතරේ පහර 34ක් හා එක් හයේ පහරක් තම ඉනිමට අන්තර්ගත කරමිනි. ඔහුට අගනා සහයක් ලබා දුන් බට්ලර් ලකුණු 152ක් රැස් කළේ හතරේ පහර 13ක් හා හයේ පහර දෙකක් ද සමඟිනි.

ඊට අමතරව එංගලන්ත ඉනිම අග භාගයේ දී පසුපෙළ පිතිකරුවන් වූ ක්‍රිස් වෝක්ස්ගෙන් ලකුණු 40ක හා ඩොම් බෙස්ගෙන් ලකුණු 22ක දායකත්වයක් හිමිවූයේ එංගලන්ත ලකුණු පුවරුව 583/8ක් වශයෙන් සනිටුහන් කරමිනි. ඉන් අනතුරුව ඔවුන් ඉනිම අත්හිටවූයේ තරගයේ පෙරමුණ ද  හිමිකරගනිමිනි.

පන්දු යැවීමේ දී ෂහීන් අෆ්‍රිඩි, මොහොමඩ් අබ්බාස් හා ෆවාඩ් අලාම් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

>> පළමු පෙළ තුළ පරිනත වූ පරණවිතාන ක්‍රිකට් බිමට සමුදෙයි

අනතුරුව තම පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පාකිස්තානය පිවිසීය. එහෙත් කිසිවෙකු නොසිතූ පරිදි ඔවුන්ගේ මුල් කඩුලු 4ම ලකුණු 30ක් තුළ දැවී ගියේ පාකිස්තාන බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි. එහි දී ක්‍රියාත්මක වූ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් එම කඩුලු 4ම දවා ගැනීමට සමත් වූයේ 38 වියැති තමන් තවමත් එංගලන්ත වේගපන්දු බලඇණියේ මුල් පුරුක බවට නැවත් වරක් සනාථ කරමිනි.

එහි දී ආරම්භක පිතිකරුවන් වූ ශාන් මසූඩ් හා අබිඩ් අලී දෙදෙනා පිළිවෙළින් ලකුණු 4කට හා එක් ලකුණකට දැවී ගිය අතර බාබර් අසාම් හා අසාඩ් ශෆීක් දෙදෙනා පිළිවෙළින් ලකුණු 11කට හා 5කට දැවී ගියේය. 

ඒ සමඟින් පිටියේ හුදකලා වූ නායක අසාර් අලීගේ සහයක පිතිකරුවා බවට පත්වූයේ ෆවාඩ් අලාම් ය. නමුත් ඔවුන් දෙදෙනා අතර ද දිගු සබඳතාවයක් පැවැත්වීමට නොහැකි වූයේ මුළු ලකුණු සංඛ්‍යාව 75ක් වන විට ලකුණු 21ක් ලබා සිටි ෆවාඩ් අලාම් ද දැවී යාම හේතුවෙනි.

එහෙත් නායක අසාර් අලී එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව හුදකලා ඉනිමක් දියත් කළේ කණ්ඩායමේ සම්පූර්ණ බර තම කර මතට පටවා ගනිමිනි. පාකිස්තාන ඉනිම පුරාවටම නොදැවී සිටිමින් ඔහු විශිෂ්ට ලකුණු 141ක් ලබා ගත්තේ හතරේ පහර 21ක් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

අසාර්ගේ ඉනිමට යම්තාක් දුරට හෝ සහයක් ලබා දීමට සමත් වූ මොහොමඩ් රිස්වාන් සටන්කාමී ලකුණු 53ක් රැස් කළේ තම රිද්මය තවදුරටත් එලෙසම පවත්වා ගනිමිනි. 

ඊට අමතරව යසීර් ෂා ද තම පිත්තෙන් ලකුණු 20ක දායකත්වයක් ලබා දුන්නේය. නමුත් පාකිස්තාන අගපෙළ පිතිකරුවන් තිදෙනාගෙන් කිසිවෙකුට පිත්තෙන් සහයක් ලබා දීමට නොහැකි වූ අතර ඒ සමඟින් පාකිස්තාන පළමු ඉනිම ලකුණු 273කට කෙළවර විය. 

නොකඩවා දෙවරක් පන්දුවට පහරදීමේ අවස්ථාවෙන් අත්මිදීම සඳහා ඔවුන් අවම වශයෙන් පළමු ඉනිමට ලකුණු 384ක් රැස්කරගත් යුතුව තිබිය ද එලෙසින් ඔවුන්ගේ ඉනිම අවසන් වූයේ එම ඉලක්කයට වඩා ලකුණු 111ක් පසුපසින් සිටිමිනි.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් අති විශිෂ්ට පන්දුකරණයක නිරත වූ ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 56කට කඩුලු 5ක් දවාලීමට සමත් විය. ඔහුට අගනා සහයක් ලබා දුන් ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 40කට කඩුලු දෙකක් දවාගත්තේය.

>> IPL විවේචනවලට ගවස්කාර්ගෙන් සැර උත්තරයක්

නමුත් ඒ අතරවාරයේ විටින් විට තරගයට වර්ෂාව ඇද හැලීම නිසා එංගලන්තයට තරමක් අවාසිසහගත තත්ත්වයක් උදාවිය. කෙසේ නමුත් ඒ මධ්‍යයේ තම දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට පාකිස්තානය පිට පිටම දෙවන වරටත් පිටියට පිවිසීය. 

පළමු ඉනිමට වඩා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ පාකිස්තාන ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක් සබඳතාවයක් පැවැත්විය. නමුත් ෂාන් මසූඩ්ට ඒ සඳහා ලබා දීමට හැකි වූයේ ලකුණු 18ක දායකත්වයක් පමණි. ඔහු දැවී ගියේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවක් හමුවේය. අනතුරුව අබිඩ් අලී සමඟ එක් වූ අසාර් අලී පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 88ක් දක්වා රැගෙන ගියේය. ඉන්පසුව ක්‍රියාත්මක වූ ජේම්ස් ඇන්ඩර්සන් අබිඩ් අලීව ලකුණු 42කට දවාගත්තේය.

වැඩි වේලාවක් යාමට මත්තෙන් අනෙක් අන්තයේ සිටි අසාර් අලී ද ලකුණු 31කට දවා ගැනීමට ඇන්ඩර්සන් සමත් වූයේ ඔහුගේ ක්‍රීඩා දිවියේ මෙන්ම මෙම තරගයේ සුවිශේෂීම අවස්ථාවක් සනිටුහන් කරමිනි. ඔහු සිය 600 වැනි ටෙස්ට් කඩුල්ලේ කඩඉම වශයෙන් අසාර්ව දවා ගත්තේ කඩුලු 600ක් දවා ගත් ලොව එකම වේගපන්දු යවන්නා බවට පත්වෙමිනි. ඔහුගේ වේගපන්දු සගයා වන 34 වියැති ස්ටුවට් බ්‍රෝඩ්ද මේ වන විට ටෙස්ට් කඩුලු 514ක් දවාගෙන ඇත්තේ ඇන්ඩර්සන්ගේ වාර්තාව බිඳහෙළීමට පෙනෙන මානයේ සිටින එකම වේගපන්දු යවන්නා වශයෙනි.

පාකිස්තාන ඉනිමේ තෙවන කඩුල්ල දැවී යාමත් සමඟින් පිටියේ හුදකලා වූ බාබර් අසාම් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 63ක් ලබාගත්තේ තරගය අවසන් වන විට ද නොදැවී කඩුල්ලේ රැඳී සිටිමිනි. ඊට අමතරව ෆවාඩ් අලාම් ලකුණු 21ක් රැස්කළ අතර ඔහු ඉනිමේ සිව්වැනි කඩුල්ල වශයෙන් දැවී ගියේය.

මේ සමඟින් තරගය ප්‍රතිඵලයක් රහිතවම අවසන් වූයේ පාකිස්තාන දෙවන ඉනිම 187/4ක් වශයෙන් තරග අවසානයේ සටහන් කරමිනි.

ඒ අනුව මෙම තරගයේ ප්‍රතිඵලයත් පෙර තරගයේ දී මෙන්ම වර්ෂාවට භාරදෙමින් ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සක් ක්‍රෝලිටත් තරගාවලියේ වීරයා සම්මානය ජොස් බට්ලර්ටත් හිමි විය.

මේ සමඟින් දෙපිල අතර පැවති ටෙස්ට් තරගාවලිය මෙලෙසින් අවසන් වූයේ 1-0ක ජයග්‍රහණයක් එංගලන්තයට හිමිකර දෙමිනි.

එංගලන්ත පළමු ඉනිම – 583/8d: සක් ක්‍රෝලි 267, ජොස් බට්ලර් 152, ක්‍රිස් වෝක්ස් 40, ෆවාඩ් අලාම් 2/46, ශහීන් අෆ්‍රිඩි 2/121

පාකිස්තාන පළමු ඉනිම – 273: අසාර් අලී 141*, මොහොමඩ් රිස්වාන් 53, ෆවාඩ් අලාම් 21, ජේම්ස් ඇන්ඩර්සන් 5/56, ස්ටුවර්ට් බ්‍රෝඩ් 2/40

පාකිස්තාන දෙවන ඉනිම – 187/4: බාබර් අසාම් 63, අබිඩ් අලී 42, අසාර් අලී 31, ජේම්ස් ඇන්ඩර්සන් 45/2, ජෝ රූට් 17/1

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<