පාකිස්තාන‌ ‌වාර්තාගත‌ ‌ලකුණ‌ ‌එංගලන්තය‌ ‌පහසුවෙන්‌ ‌හඹා‌ ‌යයි‌ ‌

677

සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හිදී පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගත් එංගලන්ත කණ්ඩායම 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගන්නා ලදි.

පියාගේ අසනීපයෙන් කම්පා වූ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයා

විස්සයි විස්ස තරග තුනකින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පසුගිය දා (29) පැවැත්වුණු නමුත් වර්ෂාවෙන් එල්ල වූ බලපෑම් නිසාවෙන් තරගය ප්‍රතිඵලයක් නොමැතිව නිමා විය.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් පිටියට පැමිණි පාකිස්තානු කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 195ක් ලබාගන්නා ලදි. එය පාකිස්තානු විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය තුල එංගලන්ත කණ්ඩායමකට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වේ.

ඒ සඳහා සාර්ථක ආරම්භයක් ලබා දුන් බාබර් අසාම් සහ ෆකාර් සමාන් පළමු කඩුල්ල සඳහා ලකුණු 72ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. සමාන් ලකුණු 36කට දැවී ගිය පසුව පිටියේ එක්වූ නායක අසාම් සහ මොහොමඩ් හෆීස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 40ක් එක් කරන අතරතුර පන්දු 44ක් තුල වේගවත් ලකුණු 56ක් ලබා ගත් අසාම් සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 14වන අර්ධ ශතකය වාර්තා කරගන්නා ලදි. එම ඉනිම සඳහා 4 පහර 7ක් ඇතුළත් විය.

එංගලන්ත පන්දු බලඇණිය හමුවේ සිය බලය තවදුරටත් විදහා දැක්වූ පකිස්තානු මැදපෙළ වෙනුවෙන් නායකත්වය ලබා දුන් මොහොමඩ් හෆීස් මේ වසර තුල ලබා ගත් දෙවන විස්සයි විස්ස ශතකය සඳහා හිමිකම් කියන ලදි. එය ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් 12 වැනි අර්ධ ශතකයයි. 

191.66ක දැඩි ප්‍රහාරාත්මක සාමාන්‍යයක් රඳවා ගත් හෆීස් 4 පහර 5ක් සහ දැවැන්ත 6 පහර 4ක් එල්ල කරමින් මේ ලකුණු 69ක් ලබා ගත්තේ පන්දු 36ක් පමණක් වැය කරමිනි. පන්දු යැවීමේ දී එංගලන්ත ප්‍රබල පන්දු යවන්නන් හට කඩුලු නොලැබී ගිය නමුත් අදිල් රෂීඩ් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

CCC නොකඩවා දෙවැනි වරටත් ලීග් ශූරයෝ

ලකුණු 196ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම සිය සත්කාරක රටේ ක්‍රීඩා කරණ නමුත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් ප්‍රේක්ෂකයින් හට මේ තරග ක්‍රීඩා පිටියට පැමිණ නැරඹීමට අවස්ථාවක් නොමැත. ඒ නිසාවෙන් ඔවුන්ට සත්කාරක රටේ ක්‍රීඩා කරන වාසිය තරමක් දුරකට අහිමි වී ගිය නමුත් ජොනී බෙයාර්ස්ටෝව් සහ ටොම් බැන්ටන් පළමු කඩුල්ල සඳහා පන්දු 38ක් තුල වේගවත් ලකුණු 66ක සබඳතාවයක් ගොඩනංවමින් එංගලන්ත මේ ජයග්‍රහණ ගමනේ පළමු වෙඩිමුරය දියත් කරන ලදි.

4 පහර 4ක් සහ 6 පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත් බෙයාර්ස්ටෝව්ගේ ඉනිම නිමා කිරීමට ශදාබ් ඛාන් සමත් වූ අතර එම ඉනිම ගොඩනැංවීම සඳහා ඔහුට වැය වූයේ පන්දු 24ක් පමණි. ශදාබ් ඛාන් ක්‍රියාත්මක කළ 7 වැනි පන්දුවාරයේ දෙවැනි සහ තෙවැනි යන පන්දු දෙක තුල එංගලන්ත ආරම්භක පිතිකරුවන් යුගලයම නැවතත් ක්‍රීඩාගාරය දෙසට හරවා යැවීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි එංගලන්ත නායක ඔයින් මෝර්ගන් සහ ඩේවිඩ් මලාන් යන දෙදෙනාම පාකිස්තාන බලාපොරොත්තු සුන් කර දමමින් අර්ධ ශතක ලබා ගන්නා ලදි.

ඩේවිඩ් මලාන් මේ දක්වා ඔහු එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන විස්සයි විස්ස තරග 12 තුලම පිතිකරණයේ නිරත වන විට අවම ලෙස ලකුණු 10 ඉක්මවා ලකුණු ලබාගෙන තිබෙන අතර එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ද මලාන් වේ. ඔහු මේ තරගයේ දී සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 6වැනි අර්ධ ශතකය ලබා ගත් අතර එංගලන්ත ජයග්‍රහණය සනිටුහන් වන විට ඔහුගේ ඉනිම ලකුණු 54*ක් ලෙස සනිටුහන් විය. පන්දු 36ක දී ගොඩනැංවුණු ඒ ඉනිම සඳහා 4 පහර 6ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය.

දේශීය ක්‍රිකට් බිමේ ඉනිමක වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට

මේ තරගය තුල පන්දුවට පහර දීමේ ප්‍රහාරාත්මක සාමාන්‍ය 200ක් වැනි ඉහළ අගයක රඳවා ගත් මෝගන් 4 පහර 6ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් සුපිරි පිතිකරණයක් දියත් කරමින් පන්දු 33ක් තුල ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූ අතර එම ඉනිම නිසාවෙන් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තවදුරටත් ඉක්මන් විය. ඊට අමතරව ඔහුට තරගයේ වීරයා සම්මානය දිනා ගැනීම සඳහා ද ඒ ඉනිම රුකුලක් විය. අවසානයේ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී එංගලන්ත සිය ඉලක්කය හඹා ගිය අතර පන්දු යැවීමේ දී ශදාබ් ඛාන් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත් විය.

පාකිස්තානය – 195/4 (20): මොහොමඩ් හෆීස් 69, බාබර් අසාම් 56, අදිල් රෂීඩ් 2/32.

එංගලන්තය – 199/5 (19.1): ඔයින් මෝර්ගන් 66, ඩේව්ඩ් මලාන් 54*, ජොනී බෙයාර්ස්ටෝව් 44, ශදාබ් ඛාන් 3/44.

තරගයේ වීරයා – ඔයින් මෝර්ගන් (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය සැප්තැම්බර් 1 වැනිදා දිවා/රාත්‍රි තරගයක ලෙස මැන්චෙස්ටර් හිදී පැවැත්වේ. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<