ඩිල්ෂාන්ගේ තුන්ඉරියව් දස්කම් මතින් ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

Road Safety World Series 2021

108

Road Safety World Series 2021 තරගාවලියේ තමන් ක්‍රීඩා කළ පස්වැනි තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා කඩුලු 6ක ජයග්‍රහණයක් ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (14) දින සමත් වුනා

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන් තීරණය කළා. 

එම තීරණයට වටිනාකමක් එක්කරමින් තරගයේ මුල් පන්දුවේ දී එංගලන්ත පිතිකරු P. Mustard කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවා ගැනීමට නායක ඩිල්ෂාන් සමත් වුනා. ඉන්පසු පිටියට පිවිසියේ Usman Afzaal. 

මුල් පන්දුවාර දෙක තුළදී එංගලන්ත පිතිකරුවන් හට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට ඩිල්ෂාන් සහ හේරත් සමත් වූ අතර එහි අවසරයෙන් තෙවන පන්දුවාරයේ Usman Afzaal පන්දුව කෙලින්ම කඩුල්ලේ වදිමින් දවා ගැනීමට ඩිල්ෂාන් සමත් වුනා. 

එම පන්දුවාරය තුළදී නැවතත් ක්‍රියාත්මක වූ තිලකරත්න ඩිල්ෂාන් තරගාවලිය පුරාවට පන්දු යවන්නන් හට හිසරදයක් වූ එංගලන්ත නායක Kevin Pietersenව එක් ලකුණට දවා ගැනීමට සමත් වුනේ තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා Legends කණ්ඩායමට ගෙන දෙමින්. 

එංගලන්ත Legends ලකුණු පුවරුව ලකුණු 6 දී තිලකරත්න ඩිල්ෂාන් රැකගත් අගනා උඩපන්දුව නිසාවෙන් Darren Maddy හට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර එම කඩුල්ල කෞෂල්‍ය වීරරත්න හට හිමි වුනා. 

ලකුණු පුවරුව 22ක් වන විට දී නැවතත් ක්‍රියාත්මක වූ නායක ඩිල්ෂාන් ලකුණු 06ක් රැස්කර ගෙන සිටි Owais Shah පිටියෙන් ඉවත් කරමින් සිව්වන කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. 

ඉන්පසු පිටියෙහි එක්වූ Jim Troughton සහ Chris Schofield එංගලන්ත Legends ලකුණු පුවරුව කෙමින් ඉහළ දැමීමට සමත් වූ නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 38ක් වන විට දී ලකුණු 18ක් රැස්කර ගෙන සිටි Jim Troughton දවා ගැනීමට රසල් ආනෝල්ඩ් සමත් වුනා. 

ඉන්පසු පිටියට පිවිසි Chris Tremlett වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා Legends පන්දු යවන්නන්ට යම් පීඩනයක් එල්ල කිරීමට සමත් වුනා. 

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ෆර්වීස් මහරුෆ් ලකුණු 09ක් රැස්කර ගෙන සිටි Chris Schofield දවා ගැනීමට සමත් වුනා. 

එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ Chris Tremlett ලකුණු 22 දී දවා ගැනීමට රංගන හේරත් සමත් වුනේ එංගලන්ත අවසන් බලාපොරොත්තු ද සුන්කරමින්. 

නැවත වරක් ක්‍රියාත්මක වූ හේරත් ලකුණු 8ක් රැස්කර ගෙන සිටි James Tredwell ද දවා ගැනීමට සමත් වුනා. 

ශ්‍රී ලංකා Legends පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වූ එංගලන්ත Legends කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට සමත් වුනේ ලකුණු 78ක් පමණයි. 

තරගය ජයග්‍රහණයට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයන්ට ලකුණු 79ක ඉලක්කයක් හිමි වුවත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එම ඉලක්කය පන්දුවාර 7.4කින් සපුරා ගත යුතුව තිබුනා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

ශ්‍රී ලංකා Legends කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ කෞෂල්‍ය වීරරත්න සමඟින් තිලකරත්න ඩිල්ෂාන්. 

ආරම්භක සබඳතාවය ලකුණු 02කට සීමා කරමින් කෞෂල්‍ය වීරරත්න එක් ලකුණකට Monty Panesarගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඉන්පසු පිටියට පිවිසියේ උපුල් තරංග.

උපුල් තරංග හටද සාර්ථකව වීමට ඉඩ ලබානොදුන් Panesar, ලකුණු 06කට තරංගව පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා. 

ආරම්භයේ ප්‍රබල පීඩනයක් එල්ල වුවත් ඉරිදා දිනය තමාගේ දිනය කරගත් ඩිල්ෂාන් එංගලන්ත පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළේ වසර කිහිපයකට පෙර අතීතයකට ප්‍රේක්ෂකයන් ගෙන යමින්. 

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පන්දු 11ක් තුළ ලකුණු 14ක් අවශ්‍ය මොහොතක දී චාමර සිල්වා ස්ටම්ප් කිරීමකින් දවා ගැනීමට Panesar සමත් වූ අතර ඉන්පසු පිටියට පිවිසි චින්තක ජයසිංහ ද ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ඔහු සමත් වුනා. 

නැවතත් පිතිකරණය අන්තය හිමිකර ගත් ඩිල්ෂාන් Panesar හට පිට පිට එල්ල කරන ලද හතරේ පහර දෙකකින් අවශ්‍ය ලකුණු ගණනේ ආසන්නයට කණ්ඩායම රැගෙන ඒමට සමත් වුනා. 

ඉන්පසු පන්දු දෙකක් තුළ ලකුණු දෙකක් අවශ්‍ය වූ මොහොතේ හතරේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායම මූලික වටයේ පෙරමුණට ගෙන ඒමට රසල් ආනෝල්ඩ් සමත් වුනා. 

තරගය පුරාවට අගනා ඉනිමක් දියත් කළ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 26ක දී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 61ක් රැස්කිරීමට සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා Legends කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම සමඟින් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතයි. 

තරගයේ වීරයා සම්මානය පන්දු යැවීමෙන් ලකුණු 6ක් තුළ කඩුලු 4ක් සහ පිතිකරණයෙන් නොදැවී ලකුණු 61ක් රැස්කර ගත් තිලකරත්න ඩිල්ෂාන් හට හිමි වුනා. 

එංගලන්ත Legends – 78/9 (20): Chris Tremlett 22, Jim Troughton 18, තිලකරත්න ඩිල්ෂාන් 4/6, රංගන හේරත් 2/17.

ශ්‍රී ලංකා Legends – 138/6 (20): තිලකරත්න ඩිල්ෂාන් 61*, Monty Panesar 4/26. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<