“මම යුතුකම් ඉටු කරන්න එනවා!” – වහබ් රියාස්

401

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවටම ගැළපෙන ක්‍රීඩකයෙක් ලෙස වහබ් රියාස් හඳුන්වන්නට පුළුවන්. මීට වසර 10කට කලින් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඔහු එතැන් පටන් ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි විස්ස පිටියේ ද පාකිස්තානය වෙනුවෙන් සුපිරි දස්කම් දක්වන්නට සමත් වූ ක්‍රීඩකයෙක්. 

වේගවත් පන්දුවාර ක්‍රියාත්මක කරමින්, පිතිකරුවන්ට ආක්‍රමණශීලී ලෙස කෙටි පන්දු යවමින්, පිටියේ කලහකාරී චරිතයක් වුණු ඔහුගේ ක්‍රිකට් දිවියට අඛණ්ඩව ඇති වූ ආබාධ හා පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හිමි වුණු කැපිලි නිසා බාධා රැසක් එල්ල වුනා. ඒ නිසාම ටෙස්ට් පිටියට සමුදුන් ඔහු දැන් යළිත් ටෙස්ට් ක්‍රීඩාවට පිවිසෙන්නට ඉතා කැමැත්තෙන් පසු වෙනවා.

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයක් තරග තහනමකට අතවනයි?

මෙය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට නම් නුහුරු නුපුරුදු සිදුවීමක් නොවේ. “වෙනත් ක්‍රීඩකයෙක් වෙනුවට හෝ කණ්ඩායමට ඔබව අවශ්‍ය වුවහොත් නැවතත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට කැමති ද කියලා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගෙන් ඇහුවා. මම කෙළින්ම හා කිව්වා, මොකද මගේ මූලිකම දේ තමයි පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරන එක” වහබ් රියාස් පසුගිය සඳුදා පවසා සිටියා.

මේ වසර 10 පුරාවට වරින් වර පිතිකරුවන් භීතිකාවට පත් කරමින් පන්දු යැවූ ඔහු අඛණ්ඩ දක්ෂතා අතරට පිවිසීමට අසමත් වීම නිසා ඔහුගෙන් සිතූ තරම් දක්ෂතා උකහා ගන්නට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු ක්‍රීඩා කරන්නට සමත් වුනේ ටෙස්ට් තරග 27ක් පමණයි. 

අවසන් වරට ඔහු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2018 ඔක්තෝබර් මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. එම තරගාවලියේ දී ද ඔහු සැලකිය යුතු දස්කම් දක්වන්නට අසමත් වුනා. ගෙවුණු වසර 10 පුරා ටෙස්ට් තරග 27ක් ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇත්තේ කඩුලු 83ක් පමණයි. ඔහු කඩුල්ලක් දවා ගන්නට පන්දුවාර 10කටත් වඩා වැය කිරීම ටෙස්ට් පිටියේ ඔහුගේ අසාර්ථකත්වය මනාවට පෙන්නුම් කරනවා.

පසුගිය වසරේ පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානයට පෙර වහබ් රියාස්ව නැවතත් පාකිස්තාන එක්දින කණ්ඩායමට කැඳවන්නට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තා. එම තීරණයට උපරිම සාධාරණය ඉටු කරමින් ඔහු එංගලන්තයේ පැවති ලෝක කුසලානයේ දී සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා. 

ඉන්පසුව පසුගිය වසර අවසානයේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නට තීරණය කළේ ප්‍රබල ක්‍රීඩක වකාර් යුනිස්ගේ දැඩි විරෝධය හමුවේයි. ඕස්ට්‍රේලියානු සංචාරයට සති දෙකකට පෙර රියාස් ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිවේදනය කිරීම ඔහු කණ්ඩායමට කළ ද්‍රෝහිකමක් බව වකාර් පවසා සිටියා. 

“2016 හා 2019 වසර අතර මම අඛණ්ඩව සෙල්ලම් කළේ නැහැ. මම ශ්‍රී ලංකාවේ දී සෙල්ලම් කළ ටෙස්ට් තරගය ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඉන්පසුව තිබුණු තරගාවලියට මාව තෝරා ගත්තේ නැහැ. මම ඕස්ට්‍රේලියාව සමඟ එක්සත් අරාබි එමීර් හිදී ටෙස්ට් තරගාවලියකට එක්වුණා. එම තරගාවලිය අතරතුර දී මාව ආපහු එවන්න බලධාරීන් තීරණයක් ගත්තා. 

මම හිතුවේ පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කරන්න මම හොඳ නැතුව ඇති කියලා. ඒ නිසා මම තීරණයක් ගත්තා. මිස්බා හා වකාර් කණ්ඩායමේ කළමනාකරණයට එන්නට පෙර තමයි මම එම තීරණය ගත්තේ. මට ඒ තීරණය කණ්ඩායමේ පරිපාලනයට දැනුම් දෙන්න සිදු වුනා. මොකද මම ටෙස්ට් සංචිතයේ කොටසක් නොවුණු නිසා. 

මම ටෙස්ට් ක්‍රීඩාව අතහැර සීමිත පන්දුවාර ආකෘතියට මගේ අවධානය යොමු කරන්නට තීරණයක් ගත්තා” පසුගිය වසරේ දී ටෙස්ට් පිටියට සමුදීමට තමන් තීරණය කළ හේතුව වහබ් පවසා සිටියා. 

“ඔවුන් මට කිව්වා විශ්‍රාම ගන්න එපා කෙටි විවේක කාලයක් ගන්න කියලා. විවේක කාලය නිසා මට නැවතත් පාකිස්තානයට ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා හිතලා. නමුත් මම මේ තීරණය ගොඩක් හිතලා ගත්තේ. මම හැමදාම මූලිකත්වය දෙන්නේ පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරන එකට හා දක්ෂතා දක්වන එකට. 

දැන් මගෙන් ආපසු එනවා ද කියලා ඇහුවාම මම කිසිවක් නොසිතාම ඔව් කියලා කිව්වා. මොකද මේක පාකිස්තානය නියෝජනය කරන්නට ලැබෙන අවස්ථාවක්. පාකිස්තානය අපට ගොඩක් දේවල් දීලා තියෙනවා. දැන් තමයි මට පාකිස්තානය වෙනුවෙන් යමක් කරන්නට හොඳම වෙලාව. අපි හිතුවේවත් නැති දේවල් වෙලා තියෙන්නේ. පකිස්තානයට මාව අවශ්‍යයි හා පාකිස්තානය වෙනුවෙන් මම ඉන්නවා.”

සංගක්කාරගෙන් කෝලි ගැන අනාවැකියක්

මෑත කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩා කිරීම නොකිරීම නිසා ඔහු හා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අතර තිබුණු මධ්‍යගත කොන්ත්‍රාත්තුව ද බිඳ වැටුණා. කොන්ත්‍රාත්තු ලැයිස්තුවේ තමන්ගේ නම අඩංගු නොවුනත් ඔහු තමන්ගේ අනාගතය පිළිබඳව ඉතා සුබදායක බලාපොරොත්තු තබා තිබෙනවා. 

“මම දන්නවා මධ්‍යගත කොන්ත්‍රාත්තුවක් කියන්නේ ක්‍රීඩකයෙක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන එකට රක්ෂණයක්. කිසි බයක් නැහැ. මම බලාපොරොත්තු වෙනවා පකිස්තානය වෙනුවෙන් හොඳින් දස්කම් දක්වලා ලබන අවුරුද්දේ කොන්ත්‍රාත්තුවක් ලබා ගන්න.”

දක්ෂ යොවුන් වේගපන්දු යවන්නන් කිහිප දෙනෙක් ද ඉන්නා බැවින් වහබ් රියාස්ට නැවතත් ටෙස්ට් කණ්ඩායමට පිවිසීම එතරම් ලේසි වන එකක් නම් නැහැ. 

“ටෙස්ට් කණ්ඩායමට නැවත පැමිණීම අපහසුයි. විශේෂයෙන්ම හොඳ යොවුන් වේගපන්දු යවන්නන් කිහිප දෙනෙක් තමන්ට අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින නිසා. මම ලෙහෙසි මාර්ගයක් තෝරා ගන්නට උත්සහ කරන්නේ නැහැ. පාකිස්තානයට අවශ්‍යතාවයක් තිබෙනවා. ක්‍රීඩාවට පැමිණි පසුව අපි වෘත්තීකයින්. අපි දන්නවා කොහොමද අපි අපේ ගැන බලාගන්නේ, කොහොමද ක්‍රීඩා කරන්න සූදානම් වෙන්නේ කියලා. මම සූදානම් වෙනවා. අවශ්‍ය වුනොත් මම ක්‍රීඩා කරනවා.”  

“යොවුන් ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් මේක. කණ්ඩායමක් විදියට අපි ඔවුන්ට සහය ලබා දෙන්න ඕන. මේක ඔවුන්ට ලේසි තරගාවලියක් වෙන එකක් නැහැ. අපිට ඔවුන්ට සහය දක්වන්නට සිදු වෙයි. ඔවුන් දක්ෂතා දක්වන්නට අසමත් වුනත් අපි ඔවුන්ට සහය දක්වන්න ඕනේ. මොකද ඔවුන් තමයි අපේ අනාගතය. 

මම මගේ තීරණයෙන් ඔවුන්ට හොඳ උදාහරණයක් පෙන්නලා දීලා තියෙනවා. පාකිස්තානය තමයි හැමතිස්සෙම අංක එක වෙන්නේ. මට මගේ අත්දැකීම් යොවුන් ක්‍රීඩකයින් සමඟ බෙදා ගන්න පුළුවන්. මට එංගලන්තයේ ක්‍රීඩා කරලා ගොඩක් අත්දැකීම් තියෙනවා.”

“ක්‍රීඩකයෙක් විදිහට අවංකවම මම සතුටු නැහැ. පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ අලංකාරය තමයි අපේ වේගපන්දු යවන්නෝ. අපිට වේගපන්දු යවන්නන් ගොඩක් ඉන්නවා වගේම ඔවුන් අතර හොඳ තරගයක් පවතිනවා. පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ඕන නම් ඔබ අඛණ්ඩව දක්ෂතාවන් දක්වන්න ඕන. 2010 සිට 2019 දක්වා අපි ඩුබායි වල ක්‍රීඩා කළේ කියන එකත් මතක් කරන්න ඕන. එහෙ වේගපන්දු යවන්නන්ට එතරම් සහයක් නැහැ. වේගපන්දු යවන්නන් හරිම පොඩි සහයයි දීලා තියෙන්නේ.”

“හැම වේලාවේම එක්කෝ මිනිස්සු අපිට කැමතියි. එක්කෝ අකමැතියි. මම හිතන්නේ ඒක මට මානසික සහයක්. ඒ විවේචන නිසාම මම පාකිස්තානය වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන්න උත්සාහ කරනවා. ක්‍රීඩකයින්ගේ දක්ෂතා තියෙන්නේ පිටිය මැද වුනාට ඔවුන්ට ඒ දක්ෂතාව දක්වන්න  විශ්වාසය තියෙන්න ඕන. සමහර දවස් හොඳයි. සමහර දවස් නරකයි. නමුත් මම මගේ වැඩපිළිවෙළට අනුව කටයුතු කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<