ආසියාව ම එසවූ සවී එසවීමේ ළාබාලතම ශූරිය – ශෙනුකි

1148

පසුගිය දා තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ දී නිමා වූ Asian Classic Equipped Bench Press and Powerlifting Championship 2021 තරගාවලියේ දී ආසියානු සවි එසවීමේ ශූරිය බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වූ ශෙනුකි දිශාල්‍යා සමත් වුනා.

එම දක්ෂතාවට පිවිසි වයසින් ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ ද ශෙනුකියි. 19 වැනි වියේ පසුවන ශෙනුකි තමන් සහභාගී වූ Dead Lift (කිලෝග්‍රෑම් 105), Bench Press (කිලෝග්‍රෑම් 42) සහ Squat (කිලෝග්‍රෑම් 85) ඉසව් ත්‍රිත්වයෙන් රන් පදක්කම් 3ක් සහ කිලෝග්‍රෑම් 47 බර කාණ්ඩයේ සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කමත් සමඟින් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 4ක් දිනා ගත්තා.

එම දක්ෂතා ද සමඟින් ඇය එම ක්‍රීඩා උළෙලේ දී සමස්ත බර කිලෝග්‍රෑම් 232ක් ඔසවමින් ඇය විසින් මෙරට දී පිහිටවා තිබූ ජාතික වාර්තාව ද නැවත අලුත් කරනු ලැබුවා.

පෞද්ගලිකව මම මේ ලැබූ ජයග්‍රහණ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේ ම කණ්ඩායමක් ලෙස අප ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ද ගොඩක් සතුටු වෙනවා. තරගාවලියට සහභාගී වෙද්දී ම පදක්කමක් දිනා ගන්නවා කියන අධිෂ්ඨානය තිබුණා. ඒ නිසා උපරිම දක්ෂතා දක්වනවා කියන අදහසින් තරගාවලියට එක් වුනේ. බලාපොරොත්තු වුනාටත් වඩා තරගාවලියේ දී දක්ෂතා දක්වන්න ලැබීම ගැන සතුටුයි”, ශෙනුකි ThePapare.com සමඟ එකතු වෙමින් පැවසුවා.

ශෙනුකි, සහෝදර සහෝදරියන් තිදෙනක්ගෙන් යුත් පවුලේ මද්දුමී. අක්කා ඉෂිනි ඔආශා. ක්‍රීඩාවට සම්බන්ධ නැහැ. විද්‍යා අංශයෙන් ඉහළ අධ්‍යාපනය ලබනවා. මල්ලි මෙත් අභිමන්‍ය. අවුරුදු 5යි. ඔහුගේ චූටක්කි තමයි ශෙනුකි.

ශෙනුකි පාසල් යන්නේ කොළඹ බිෂෝප් විද්‍යාලයට. බොහෝ දෙනෙක්ගේ ක්‍රීඩා දිවිය පාසල් දිවියත් සමඟ ආරම්භ වුනත් ෂෙනුකිගේ ක්‍රීඩා දිවිය ගොඩ නැගෙන්නේ ඊට වෙනත් ආකාරයකින්. ඒ ගැන අපට පැවසුවේ ඇයගේ මව ක්‍රිශාන්ති කුලසූරිය මහත්මිය.

ක්‍රීඩාවට යොමු වෙද්දී ශෙනුකිට යන්තම් අවුරුදු 4ක් විතර වෙන්න ඇති. පුංචි කාලේ සිට ම ඇය ගොඩක් ක්‍රියාශීලී. එක තත්පරයක් එක තැන ඉන්නේ නැහැ. උඩ නගිනවා, පුටුවල නගිනවා, දුවනවා, පනිනවා වගේ වැඩ තමයි නිතර ම කළේ. මේ නිසා අපි ගොඩක් බයෙන් හිටියේ අනතුරක් කර ගනියි කියලා. මේ අනාරක්ෂිත බව නිසා දුවන පනින දේ හරි හරියකට කරන්න උගන්නන්න ඕන කියන හැඟීම ආවා. ඒ වගේ ම මම ඇයගේ ශරීරයේ ඉතා නම්‍යශීලී බවක් දැක්කා. ඒ නිසා ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවට සුදුසුයි කියල හිතුණා. ඊට යොමු කළා.“

එසේ ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමුවෙන ශෙනුකි, ඉතා කුඩා කාලයේ ම ජිම්නාස්ටික් ජාතික තලය දක්වා පැමිණියා. දිස්ත්‍රික්, පළාත් ශූරතා දිනා ගනිමින් ජිම්නාස්ටික් පිටියේ දක්ෂතා දක්වන අතරතුර 2014 වසරේ දී ඇය තවත් ක්‍රීඩා ඉසව්වකට ප්‍රවිෂ්ට වෙනවා. ඒ පිහිනුම් ක්‍රීඩාවේ ආකර්ශනීය අංගයක් වන දිය පැනුම් හෙවත් Diving ඉසව්වට.

ඉතා කෙටි කාලයකින් ම මේ ක්‍රීඩාවේ ද ජාතික තලය දක්වා පිවිසීමට ශෙනුකි සමත් වෙනවා.

මේ තරගවලින් මම ජයග්‍රහණවලට වඩා බලාපොරොත්තු වුනේ සහභාගීත්වය. එක දවසක්වත් පුහුණුවීම් මඟ හැරලා නැහැ. මම මේ ක්‍රීඩා දෙකම සමබරව කරගෙන ගියා. ජිම්නාස්ටික් වගේම තමයි Diving ක්‍රීඩාවත්. එකිනෙකට වෙනස් වුනත්, ශරීරය පාලනය කිරීමේ දී මේ දෙකේ ආභාෂයන් මට විශාල ශක්තියක් වුනා. එකිනෙකට උදව් වුනා. මේ නිසා මම ඉතා ආසාවෙන් මේ ක්‍රීඩාවන් දෙක ම කරගෙන ගියා. පුහුණුවීම්වලට, තරගවලට සහභාගී වීමේ දී අම්මා කාලය කළමනාකරණය කරල දුන්නා. ඒ නිසා ඒ දෙකෙන් ම ඉහළට එන්න මට හැකි වුනා.“

මේ අතර කාලයේ ඇය ජිම්නාස්ටික් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 2016 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ තායිලන්තයේ පැවති ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලිය ද නියෝජනය කළා.

2018 වසරේ දී Diving ඉසව්වේ ජාතික ශූරතාව දිනා ගැනීමට ද ඇය සමත් වෙනවා. නමුත් එය ඇයගේ අවසන් Diving පිම්ම වුනා. ඇය දිනා සිටි රන් පදක්කමක් ක්‍රීඩා බලධාරීන් විසින් ඇයට අහිමි කරනවා. ඒ ක්‍රීඩා ඉසව්වේ නීති විරෝධී බවක් විනිසුරුවන් දුන් විනිශ්චයක් හේතුවෙන් නොවේ. අයැදුම්පතේ වූ වැරැද්දක් උළුප්පා දක්වමින්.

මේ සිදුවීම ශෙනුකිට විශාල බලපෑමක් කළා. ඒ වෙද්දී ඇය සෑම අංශයකින් ම ඉහළ ලකුණු අරගෙන රන් පදක්කම දිනාගෙන හිටියේ. නමුත් අයැදුම්පතේ වැරැද්දක් පෙන්වමින් එදා එයාට ඒ රන් පදක්කම ලබා දුන්නේ නැහැ. ඒ ක්‍රීඩා බලධාරීන්ට අවශ්‍ය වුනේ ශෙනුකිට හිමි පදක්කම වෙනත් කෙනෙක්ට ලබා දෙන්න. අපි මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට කරන ලද පැමිණිල්ලකින් පසු සිදු කෙරුණ පරීක්ෂණයෙන් බලධාරීන්ගේ ක්‍රියාව වැරදි බවට තීරණය කෙරුණා. ඇයට රන් පදක්කම ප්‍රදානය කළා. නමුත් එයා ඒකට කැමති වුනේ නැහැ. මොකද ඇයට අවශ්‍ය තැන දී නෙමේ නේ මේ පදක්කම දුන්නේ. ඒ නිසා එයා ලොකු කළකිරිමක් එක්ක ඒ ක්‍රීඩාව නතර කළා“, ෂෙනුකිගේ මව ක්‍රිශාන්ති කුලසූරිය මහත්මිය ඒ අවාසනාවන්ත සිදුවීම සිහිපත් කළා.

එකි සිදුවීමෙන් අනතුරුව ක්‍රීඩා පිටියේ සක්‍රීය චරිතයක් නොවන ශෙනුකි, තම ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීම පමණක් අරමුණු කර ගනිමින් ක්‍රීඩාවේ නිරත වුනා. ඒ වුවත් නිවැසියෙන්ගේ බලකිරිම මත 2019 වසරේ ජාතික ජිම්නාස්ටික් තරගාවලියට සහභාගී වෙන ඇය එහි Balance Beam ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. එම දක්ෂතාවත් සමඟින් ඇය එම ක්‍රීඩා උළෙලේ සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ද ශ්‍රේණිගත වුනා.

Diving ක්‍රීඩාවෙන් ඉවත් වූවත්, ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් දිගු ගමනක් යෑමේ ඉඩ-කඩ විවර වී තිබිය දීත් ශෙනුකි ඊට ද තිත තබනවා. ක්‍රීඩා තරග පිටියේ හැල හැප්පීම් ශෙනුකිට ඔරොත්තු දුන්නේ නැහැ. එහෙත් ඇඟ පුරා දුවන ක්‍රීඩා උණ ශෙනුකි එක තැනක වැඩි කාලයක් රැඳෙව්වේ නැහැ. අනතුරුව ඇය නැවත ක්‍රීඩාවට පිවිසෙන්නේ සවි එසවීමට එක් වෙමින්.

සවි එසවීම් ක්‍රීඩාවක් ලෙසින් තෝර ගන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. Diving සහ ජිම්නාස්ටික්වලින් ඉවත් වුනත් මම මගේ දෛනික ශාරීරික ව්‍යායාම් වෙනුවෙන් OSMO Fitness එකට ගියා. එතැන දී තමයි සවි එසවීම කියන ක්‍රීඩාව දැක්කේ. ටික දවසක් මේක දකිද්දී මටත් හිතුණා මේක කරන්න ඕන කියලා“, ශෙනුකි තමන්ගේ තෙවැනි පිම්ම ගැන සිහිපත් කළා.

එතැන දී ශෙනුකිගේ උදව්වට එන්නේ ප්‍රවීණ සවි එසවීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලක. ඔහුගේ මඟ පෙන්වීම යටතේ ක්‍රීඩාව හදාරාගෙන ගිය ශෙනුකි 2021 දෙසැම්බර් මාසයේ පැවති ජාතික සවි එසවීමේ තරගාවලියේ දී ජාතික වාර්තා දෙකක් තමන් සන්තක කර ගනිමින් ජාතික ශූරිය බවට ද පත් වුනා.

එම දක්ෂතාවත් සමඟින් ශ්‍රී ලංකාවේ එකිනෙකට වෙනස් ක්‍රීඩා තුනකින් ජාතික ක්‍රීඩිකාව ලෙසින් අභිෂේක ලැබූ මෙරට ළාබාලතමයා වීමට ද ඇය සමත් වුනා.

ආපු ගමන ගැන ගොඩාක් සතුටු වෙනවා. මේ කිසිවක් පදක්කම් හෝ වාර්තා බලාගෙන කළේ නැහැ. කරන දේ හරියට කරන්න ඕන කියන හැඟීම පමණයි තිබුණේ. රට නියෝජනය කරමින් ගිය සෑම තරගයක දී ම රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අදහස විතරයි තිබුණේ. හෙටටත් ඒ හැඟීමෙන් ම තරග පිටියට පිවිසෙනවා“, ශෙනුකි පවසනවා.

මේ වෙද්දී ඇය සවි එසවීමේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. ඒ දක්ෂතාවත් සමඟින් ඇයගේ ඊළඟ ඉලක්කය එළඹෙන ජූලි මාසයේ දී ලෝක සවි එසවීමේ තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දීම බවයි ඇය පවසන්නේ.

ශෙනුකිට මීට පෙර ස්වීඩන්වල පැවති ලෝක සවි එසවීමේ තරගාවලියට සහභාගී වෙන්න අවස්ථාව හිමි වෙලා තිබුණා. නමුත් වීසා ප්‍රශ්නයක් නිසා ඒ අවස්ථාව අපිට අහිමි වුනා. ඒ තරගාවලියට සහභාගී වුනා නම් ශෙනුකිට පදක්කමක් ලබා ගන්න තිබුණා කියන විශ්වාසය තිබුණා.

පසුගිය දා පැවති තුර්කි තරගාවලියට සහභාගී වෙද්දී ශෙනුකිට පදක්කමක් දිනා ගන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා. නමුත් අපිට පදක්කමකට වඩා අවශ්‍යතාවක් තිබුණේ ලෝක සවි එසවීමේ තරගාවලියට සහභාගී වීමේ සුදුසුකම් ලබා ගැනීමේ ලකුණු ප්‍රමාණයට එන්න.  ශෙනුකි ඒක කළා. දැන් අපේ ඉලක්කය ඒ වෙනුවෙන් සූදානම් වෙන්න. ඇය ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩාවේ අනාගතය බබළවන ක්‍රීඩිකාවක් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා“, ශෙනුකිගේ පුහුණුකරු රන්සිළු ජයතිලක පැවසුවා.

ශෙනුකිගේ මව ක්‍රිශාන්ති කුලසූරිය මහත්මිය මාධ්‍යවේදිනියක් ලෙස Team Works Media ආයතනයේ සේවය කරනවා. පියා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන් ම මාධ්‍යවේදියෙක් ද වන අනූෂ සංජීව මහතා. කලාකාමී මේ පවුලේ ශෙනුකි ද වෙළෙඳ දැන්වීම් කිහිපයකට ම රංගනයෙන් දායක වී තිබෙනවා. ඒත් ශෙනුකිට උණ තියෙන්නේ ක්‍රීඩාවට බවයි ක්‍රිශාන්ති කුලසූරිය මහත්මිය පවසන්නේ.

කෙනෙක් ක්‍රීඩාවට කොපමණ ආදරය කළත් ඒක දිගින් දිගට ම කරගෙන යන්න බැරි තරමේ ගැටලු ලංකාවේ තියෙනවා. විශේෂයෙන් ම ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම හෝ වැදගත් තැනක තැබිය හැකි වාතාවරණයක් ඇති කළ යුතුයි. නමුත් එහෙම දෙයක් අපේ රටේ වෙලා නැහැ. අම්මා විදිහට මම ශෙනුකි වෙනුවෙන් ලොකු රාජකාරියක් කරනවා. නමුත් හැම ළමයෙක්ට ම එහෙම බැහැ.

සංචාරයකට එක් වෙනවා නම්, සල්ලි හොයා ගන්න ඕන. කෑම බීම අපහසුතා තියෙනවා. ඒ වගේ ම වීසා ඔෆිස්වලත් රස්තියාදු වෙන්න ඕන. ඉතිං එහෙම ළමයෙක් කොහොම ද නිදහසේ ක්‍රීඩාවක් කරගෙන යන්නේ. ඒක ශෙනුකිටත් අඩු- වැඩි වශයෙන් තියෙනවා. මුහුණ දීලා තියෙනවා. මේ දේවල්වලින්වත් නිදහස් වෙන්න ක්‍රීඩකයාට උදව් කරන කෙනෙක් නැහැ. ක්‍රීඩකයාගේ අවශ්‍යතාවට තමයි රට නියෝජනය කරන්න වෙලා තියෙන්නේ. ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕන”, ක්‍රිශාන්ති කුලසූරිය මහත්මිය තව දුරටත් පැවසුවා.

ශෙනුකිගේ ක්‍රීඩා ලෝකය වර්ණවත් කළ අය පෙළ ගැස්වීම ටිකක් අපහසු එකක්.

මගේ ජයග්‍රහණ සමඟ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් අම්මා විශේෂයි. ඒ වගේ ම තාත්තත්, අක්කත් මල්ලිත් මතක් නොකර ම බැහැ. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම මේ වගේ දක්ෂතා දක්වන තැනක ඉන්නේ. ඒ වගේ ම මගේ ජිම්නාස්ටික් පුහුණුකරු තරිඳු පෙරේරා මහතා, Diving පුහුණුකරු චානක වික්‍රමසිංහ මහතා, සවි එසවීමේ පුහුණුකරු රන්සිළු ජයතිලක මහතා සහ ක්‍රීඩා උපදේශක විමුක්ති ද සොයිසා මහතාත් ආදරයෙන් මතක් කරනවා. ඔවුන් දැක්වූ සහයෝගය නොවන්න මට මේ ගමන මේ තරම් ඉක්මනට එන්න බැහැ“, ශෙනුකි පැවසුවා.

ළාබාල ක්‍රීඩිකාවක් වුවත් ශෙනුකි මේ වන විට කලාතුරකින් හෝ කෙනෙක් අත නොතියන මාතෘකාවකටත් පිවිසිලා. ඒ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඇකඩමියක් පවත්වා ගෙන යෑම. එය සම්පූර්ණයෙන් ම ස්වෙච්ඡාවෙන් කරනු ලබන දෙයක්. ළමුන් 20ක් විතර මේ වෙද්දී ඇය වටා රොක් වී සිටිනවා. එය Daily Dose Sri Lanka නමින් පවත්වා ගෙන යනු ලබන අතර ඇය ලබා ගන්නා ක්‍රීඩා අත්දැකීම් ඔවුන් සමඟ බෙදා ගැනීම එහි අරමුණයි.

මම ඒ දෙයින් විශාල තෘප්තියක් ලබනවා. කොපමණ පුහුණුවීම් තිබුනත් සතියට දින දෙකක් මම ඔවුන් සමඟ ගත කරනවා. මම මෙතෙක් ඉගෙන ගත් දේවල්වලින් ඔවුන්ගේ ජීවිත ගොඩ නගන්න වැදගත් යැයි හැඟෙන දේවල් කියල දෙනවා. ඔවුන්ට ශාරීරික යෝග්‍යතාවන් පවත්වා ගෙන යෑමට උගන්වමින් තමන්ගේ එදිනෙදා කටයුතු කර ගන්න පහසු වෙන ආකාරයට ශරීර හැඩ ගස්වනවා. පිහිනනවා, දුවනවා පනිනවා වගේ ම එදිනෙදා පුංචි ම පුංචි ළමයි කරන සෙල්ලම් පවා අපි කරනවා. ඔවුන්ගේ ලෝකය හරි ම අහිංසකයි. ඔවුන්ට මම වීරවරියක්. මම ඒකට ආසයි“, ශෙනුකි පැවසුවා.

ක්‍රීඩිකාවක් ලෙසත් සමාජ සේවිකාවක් ලෙසත් ශෙනුකි යන ගමනට ThePapare.com උණුසුම් සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<