විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

764

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට (13) ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ඉතිහාසය 1993 වසර තෙක් ඉතිහාසයට දිවයනවා.

දකුණු අප්‍රිකානුවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම් වූ කාලයේ බොහෝ ජාත්‍යන්තර කණ්ඩායම් දකුණු අප්‍රිකාවේ සංචාරය කළා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අසූව දශකයේ මුල දකුණු අප්‍රිකාවට සංචාරය කළා. එම සංචාරයේ ශ්‍රී ලාංකිකයින් අතරින් වැඩිම ඉල්ලුමක් ලැබී තිබුණේ නායක බන්දුල වර්ණපුර වෙත. දකුණු අප්‍රිකානු බලධාරීන් වර්ණපුර 1982 වසරේ ඉන්දියානු සංචාරයේ දී දැක්වූ නායකත්ව දක්ෂතා ගැන මහත් ලෙස ප්‍රසාදයට පත්ව සිටීම එයට හේතුව ලෙස සඳහන්.

ස්පොර්ට්ස් ස්ටාර් සඟරාවේ 1993 සැප්තැම්බර් 25 කලාපය

1993 ශ්‍රී ලංකා සංචාරය ඇරඹෙන විට තහනමින් පසු ජාත්‍යන්තර පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරඟ පහක් පමණයි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය නිසා තරගාවලිය ගැන යම් අවිනිශ්චිතත්වයක් මතුවූවත් නියමිත පරිදි තරගාවලිය පැවැත්වීමට බලධාරීන් කටයුතු සම්පාදනය කරනවා.

බොහෝ කලකට පසුව ජාත්‍යන්තර පිටියට පැමිණි නිසා දකුණු අප්‍රිකානුවන්ට ශ්‍රී ලංකාවේ තණතිලි ගැන විශාල අවබෝධයක් තිබුණේ නැහැ. තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් ඩර්බන් නුවර දී විශේෂ පුහුණු කඳවුරක් පවත්වනවා. එහි දී දකුණු අප්‍රිකානුවන්ගේ සැලසුම් සකස්වන්නේ කෙටි පන්දුව සහ ප්‍රතිදෝලන පන්දුවෙන් ශ්‍රී ලාංකික පිතිකරුවන්ට මෙල්ල කිරීමටයි.

ප්‍රථම ටෙස්ට් තරගය – මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය.

  • කාසියේ වාසිය- ශ්‍රී ලංකාව
  • ශ්‍රී ලංකාව -ප්‍රථම ඉනිම 331
  • දකුණු අප්‍රිකාව – ප්‍රථම ඉනිම 267
  • ශ්‍රී ලංකාව -දෙවෙනි ඉනිම 300/6
  • දකුණු අප්‍රිකාව – දෙවෙනි ඉනිම 251/7
  • තරගයේ වීරයා -අර්ජුන රණතුංග
  • තරගය ජය පරාජයෙන් තොරයි

අගෝස්තු 25 වෙනිදා මොරටුවේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගයේ වැඩි ගෞරව අත්වූයේ සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට. ජොන්ටි රෝඩ්ස්ගේ අතිවිශිෂ්ට ඉනිම සහ මංගල තරගයට ක්‍රීඩා කළ ක්ලයිව් එක්ස්‍ටීන්ගේ වීර වික්‍රමය නිසා තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට අවස්‍ථාව ලැබුණා.

පැය හතරකට වඩා කාලයක් පිටියේ රැඳුණු රෝඩ්ස් බොහෝ විට පන්දුව පිළිගනු ලැබුවේ පාදය යොදා ගනිමින්. එමෙන්ම එක්‍ස්ටීන් පන්දු 89කට මුහුණ දෙමින් ලකුණු 04ක් පමණක් ලබාගෙන රෝඩ්ස්ට ලබා දුන්නේ අනගි සහායක්.

මොරටුව තරගයේ වීරයා බවට පත්වූයේ නායක අර්ජුන රණතුංග. අර්ජුන ශතකයක් වාර්තා කළත් එය තරමක ආන්දෝලනාත්මක එකක්. ඉනිම අතරතුර හැන්සි ක්‍රෝන්ජේගේ පන්දුවකට ඔහු අතටම ලබා දුන් උඩපන්දුව විනිසුරුවන් විසින් අර්ජුනගේ වාසියට නම් නොකරන්නට මේ තරගයේ ඉරණම සෑහෙන දුරට වෙනස්වන්නට තිබුණා.

ස්පොර්ට්ස් ස්ටාර් සහරාවේ 1993 සැප්තැම්බර් 25 කලාපය

මේ තරගයේ තවත් රසවත් සිදුවීමක් වුනා. මේ ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ රොෂාන් මහානාම පන්දුවට පහර දෙන විට තරමක් පිට ඉන්න දෙසට බරවෙමින් පන්දුවට පහර දුන්නේ. ඉන්පසුවත් සෑහෙන අවස්ථාවන්වල ඔහු මේ අඩුපාඩුව නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියා.

මහානාමගේ පා ඉන්න අනාරක්ෂිත බව දුටු දකුණු අප්‍රිකානු නායක කෙප්ලර් වෙසල්ස් ස්ලිප් කලාපයේ ඉඳල බ්‍රෙට් ෂුල්ට්ස්ට අප්‍රිකාන්ස් බසින් කෑගසා පවසනවා මහානාමගේ පා ඉන්න ඉලක්ක කරල පන්දු යවන ලෙස.

ෂුල්ට්ස්ට, කෙප්ලර් වෙසල්ස් අප්‍රිකානු භාෂාවෙන් කී දේ තේරුම් ගිය නමුත් අප්‍රිකාන්ස් භාෂාව කතා කිරීමේ නොහැකියාව නිසා පෙරලා ඉංග්‍රීසි බසින් “මම ඉලක්ක කළ යුත්තේ ඔහුගේ පා ඉන්නට නම් ඇයි ඒ ආකාරයෙන් පන්දු රකින්නන් රඳවන්නේ නැත්තේ” (If you want me to attack his leg stump, why don’t you set your field accordingly) කියා වෙසල්ස්ගෙන් විමසනවා.

අප්‍රිකාන්ස් බස කෙසේ වෙතත් ඉංග්‍රීසි බසින් ෂුල්ට්ස් කී දේ පිළිබඳ මනා අවබෝධයක් ඇති මහානාම තමා දවා ගැනීමට දකුණු අප්‍රිකානුවන් භාවිතා කිරීමට යන උපක්‍රමය හොඳින්ම දැන සිටියා. නමුත් මහානාම අන්තිමේ දී දැවී ගියේත් ෂුල්ට්ස් පා ඉන්න ඉලක්ක කරගත් පන්දුවක් කඩුල්ලේ වැදීමෙනුයි.

දෙවෙනි ටෙස්ට් තරගය – සිංහල සමාජ ක්‍රීඩා පිටිය

  • කාසියේ වාසිය- ශ්‍රී ලංකාව
  • ශ්‍රී ලංකාව -ප්‍රථම ඉනිම 168
  • දකුණු අප්‍රිකාව – ප්‍රථම ඉනිම 495
  • ශ්‍රී ලංකාව -දෙවෙනි ඉනිම 119
  • තරගයේ වීරයා -බ්‍රෙට් ෂුල්ට්ස්
  • දකුණු අප්‍රිකානුවන්ට ඉනිමක සහ ලකුණු 208ක ජයක්

මෙම තරගය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකානුවන්ගේ ග්‍රහණයට ලක්වූ තරගයක් ලෙස නම් කළොත් නිවැරදියි. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 168ක් පමණයි. ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් තර්ජනයක් වෙමින් පන්දු යැවූ බ්‍රෙට් ෂුල්ට්ස් කඩුලු පහක් දවා ගත්තා. නව පන්දුවෙන් මෙන්ම පරණ පන්දුවෙන් ද දකුණු  අප්‍රිකානු වේගපන්දු යවන්නන් එල්ල කළේ මහත් අභියෝගයක්.

පිළිතුරු ලෙස පන්දුවට පහර දීමට පැමිණි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා කෙප්ලර් වෙසල්ස් සහ ඇන්ඩෲ හඩ්සන් පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගුවා. ඔවුන් දෙදෙනා දැමූ ශක්තිමත් අඩිතාලමෙන් පෝෂණය වූ දකුණු අප්‍රිකානු ඉනිම තවදුරටත් ශක්තිමත් කරන්නට හැන්සි ක්‍රෝන්ජේගේ ශතකය මෙන්ම ඩැරල් කලිනන් සහ පැට් සිම්කොක්ස් ලබාගත් අර්ධ ශතක සැපයුවේ මනා පිටුවහලක්.

ස්පොර්ට්ස් ස්ටාර් සහරාවේ 1993 සැප්තැම්බර් 25 කලාපය

තෙවැනි දිනය අවසානයට වන්නට ශ්‍රී ලංකා  කණ්ඩායමට පන්දුවාර විස්සක් පන්දුවට පහර දීමට ලබා දිය යුතු බව දකුණු අප්‍රිකානු පුහුණුකරු මයික් ප්‍රොක්ටර්ගේ අදහස වූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් කඩුල්ල දැවී යන විට ප්‍රොක්ටර් බලාපොරොත්තු වූ අන්දමේ පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඉතිරි වී තිබුණා. තුන්වැනි දිනයට තරගය නතර කරන විට දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කියවුණේ 49/4ක් ලෙසයි. පසුදිනය විවේක දිනයක් වූ අතර ඊට පසුදා තරගය වැඩි වේලාවක් යන්නට මත්තෙන් නිමා කරන්නට දකුණු අප්‍රිකානුවන් සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය පුරාම මහත් තර්ජනයක් එල්ල කළ බ්‍රෙට් ෂුල්ට්ස් ලකුණු 106කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයෙන් අනතුරුව සිංහල සමාජ පිටියේ තණතීරුව භාරව සිටි රසල් හාමර් මහතාට එල්ල වූ විවේචන සුළුපටු නොවුන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා දකුණු අප්‍රිකානුවන්ට සුදුසු තණතීරුවක් සකස්වී තිබූ බවයි බොහෝ දෙනාගේ මතය වූයේ.

තෙවැනි ටෙස්ට් තරගය – පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය

  • කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව
  • දකුණු අප්‍රිකාව – ප්‍රථම ඉනිම 316
  • ශ්‍රී ලංකාව – ප්‍රථම ඉනිම 296/9
  • දකුණු අප්‍රිකාව – දෙවෙනි ඉනිම 159/4
  • තරගයේ වීරයා – ඩැරල් කලිනන්
  • තරගය ජය පරාජයෙන් තොරයි.

සැප්තැම්බර් 14 වැනිදා පී. සරා පිටියේ ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරගය ජයගෙන තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික පරමාර්ථය වුනා. තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඩැරල් කලිනන් ශතකයක් වාර්තා කර ගත් අතර කඩුලු රකින ඩේව් රිචර්ඩ්සන් අර්ධ ශතකයක් වාර්තා කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අර්ධ ශතක තුනක් වාර්තා වූ අතර ඉන් ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළේ සනත් ජයසූරිය විසිනි. අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග මෙම ඉනිමේ සෙසු අර්ධ ශතක ලාභීන් බවට පත්වුනා.

තරගයේ පස්වැනි දිනය වැස්සට සේදී යද්දී දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානුවන් කඩුලු හතරක් දැවී ලකුණු 159ක් ලබා සිටි අතර තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවන් සමත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග‍. තම ක්‍රීඩා ජීවිතයේ හොඳම තරගාවලිය නිමා කරමින් තරගාවලියේ වීරයා බවට පත්වූ බ්‍රෙට් ෂුල්ට්ස් කඩුලු 20ක් දවා ගත්තා.

ස්පොර්ට්ස් ස්ටාර් සහරාවේ 1993 සැප්තැම්බර් 25 කලාපය

අධික රස්නයකින් යුත් ශ්‍රී ලංකාව වැනි රටක විශාල ශරීරයක් හිමි බ්‍රෙට් ෂුල්ට්ස් දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් කළ කැපවීම අතින් විශාලයි. ෂුල්ට්ස් ඇති කළ භීතිකාව බොහෝ කලක් යනතුරු ශ්‍රී ලාංකිකයන්ගේ හිතේ හොල්මන් කළ බව නොරහසක්. වෙනකක් තබා 1999 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයටත් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ට උපදෙස් ලැබී තිබුණේ 1993 තරගාවලියේ බ්‍රෙට් ෂුල්ට්ස්  සහ ඇලන් ඩොනල්ඩ් පන්දු යැවූ ආකාරයෙන් ශ්‍රී ලාංකික පිතිකරුවන්ගේ ඇඟ ඉලක්ක කොට පන්දු යවන්නටයි.

මෙම තරගාවලියට බ්‍රෙට් ෂුල්ට්ස් එක්කර ගැනීමේ සම්පූර්ණ ගෞරවය ලැබෙන්නේ නායක කෙප්ලර් වෙසල්ස්ට. බ්‍රෙට් ෂුල්ට්ස්ගේ පන්දු යැවීමේ ඉරියව් නැවත සකසා ගනිමින් ෂුල්ට්ස් නිරන්තරයෙන් උනන්දු කරවමින් වේගවත් භයානක පන්දුකරුවෙකු බිහි කිරීමේ ගෞරවය වෙසල්ස් සතුයි. එමෙන්ම ශ්‍රී ලංකා සංචාරයට පෙර මයික් මැකොලි නම් දකුණු අප්‍රිකානු වමත් වේගපන්දුකරුවෙකු සමඟ එක්වී තම අඩුපාඩු සකස් කරගැනීමට ෂුල්ට්ස් සමත් වුනා.

Getty Images

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සුදු අකුණු සැරය නම් විරුදාව ලත් ඇලන් ඩොනල්ඩ්ගේ බිල්ල බවට පත්වෙමින් ක්‍රීඩා කළ ඉනිම් පහක දී ම ඩොනල්ඩ්ගේ පන්දු ඉදිරියේ දැවී ගියේත් මේ තරගාවලියේ දීයි. ඉන්පසු හතුරුසිංහ ක්‍රීඩා කළ අන්තර් සමාජ තරගවල දී පවා ස්ලිප් කලාපයේ සිට “කමෝන් ඩොනල්ඩ්” යනුවෙන් උසුළු විසුළු නැගුණ බව තතු දන්නෝ පවසනවා.

තරගාවලියේ අවසාන දිනය සම්පූර්ණයෙන්ම වැස්සට සේදී ගිය අවස්ථාවක ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මාධ්‍යවේදියෙකු හමුවේ මෙසේ පැවසුවා. “අපට සිටින සම්පත දඟපන්දු යවන්නන්. අපි අපේ දඟපන්දු යවන්නන්ට ගැළපෙන ආකාරයේ කඩුලු තැනිය යුතුයි. අසල්වැසි ඉන්දියාවේ පවා තත්ත්වය එයයි. ඉදිරියේ දී තරග ජයග්‍රහණය කිරීමට කඩුලු අපට උවමනා ආකාරයෙන් සකසා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<