ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 7කට දෝහා කටාර් වරම් – පළමු ආසියානු යොවුන් (අවුරුදු 18) මලල ක්‍රීඩා තරගාවලිය

132

ලබන මැයි 8 සිට 11 දක්වා දෝහා කටාර් හි පැවැත්වෙන පළමු වැනි ආසියානු යොවුන් අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ක්‍රීඩකයන් හය දෙනකුට හා එක් ක්‍රීඩිකාවකට හිමිව ඇත.

මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටින උස පැනීමේ ක්‍රීඩක ධම්මික රණතුංග මීටර් 2.10ක උසක් තරණය කොට එළැඹෙන යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියටද සුදුසුකම් සපුරා ඇති අතර මීටර් 400 බාලක ඉසව්ව නියෝජනය කරන දර්ශන රාජපක්‍ෂ සුදුසුකම් ලබා ඇත්තේ තත්පර 53.81ක තරග නිමි කාලයක් සටහන් කරමිනි.

මේ සඳහා පළමුවෙන් තෝරාගෙන තිබුණේ සිව් දෙනකු පමණක් වුවත් මීටර් 200 ධාවන ශූර ආසිරි විජේසේකර ඉදිරිපත් කළ විරෝධතාවක් පිළිගැනීම නිසා ඔහු ඇතුළු තවත් තිදෙනකුට ශ්‍රී ලංකා පිලට එක්වීමේ අවස්ථාව ලැබිණි.

මේ වසර අගදී කොලොම්බියාවේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා තරගාවලියටද සුදුසුකම් ලබා සිටින ආසිරි විජේසේකර දෝහා කටාර් තරගාවලියට තෝරා නොගැනීම පිළිබඳ විරෝධතාව ඉදිරිපත් කර තිබිණි.

මෙම තරගාවලියට සහභාගි වන එකම ක්‍රීඩිකාව මීටර් 400 බාලිකා ඉසව්ව නියෝජනය කරන අතර ඇයගේ පුහුණුකරු වන අනුර බණ්ඩාර මහතා ප්‍රධාන පුහුණුකරු මෙන්ම කණ්ඩායමේ කළමනාකරු ලෙසද නම් කර ඇත.

මීටර් 400 පිරිමි ශ්‍රී ලංකා වාර්තාව හිමි සුගත් තිලකරත්න මහතාගේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත්තේද අනුර බණ්ඩාර මහතාය.

මෙම තරගාවලිය සඳහා තරගකරුවන් තිදෙනකුට හා එක් නිලධාරියකුට සංවිධායකයන් විසින් අවසර ලබා දී ඇති බැවින් සෙසු ක්‍රීඩකයන්ගේ හා නිලධාරීන්ගේ වියදම් පියවා ගැනීම ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුතු වෙයි.

 

සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා පිල

ක්‍රීඩකයන් _ ආර්.ආර්. ධම්මික රණතුංග (උස පැනීම, කුලරත්න විදුහල ගොඩකවෙල) එල්.ඩබ්ලිව්. චමල් කුමාරසිරි (තුන් පිම්ම, මීරිගම ඩී.එස්. සේනානායක විදුහල) දර්ශන රාජපක්‍ෂ මීටර් (400, ශාන්ත සිල්වෙස්ටර් විදුහල) උදිත චන්ද්‍රසේකර (මීටර් 400 කඩුලු මාරිස්ටෙලා විදුහල) ආසිරි විජේසේකර (මීටර් 200 ගේට්වේ විදුහල) උෂාන් තිවංක (උස පැනීම, මාරිස්ටෙලා විදුහල)

ක්‍රීඩිකාව – ඩී.එම්. යමානි දුලාංජලී (මීටර් 400 කඩුලු, අඹගමුව ම.ම. විදුහල)

නිලධාරීන් – අනුර බණ්ඩාර (කළමනාකරු/ පුහුණුකරු) කාන්තා භාර නිලධාරිනිය – එම්. අනුෂා දිල්රුක්‍ෂි පෙරේරා, පුහුණුකරු – ටිරෝන් ඉන්දික ගමගේ

පුහුණුකරු – ජයමිණි සංජීව වීරක්කොඩි