Shafique අර්ධ ශතකයක් රැස්කරද්දී චාමිකගෙන් හොඳ පන්දු යැවීමක්

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

185
Pakistan A tour of Sri Lanka 2021

ශ්‍රී ලංකා A හා පාකිස්තානු A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද (04) මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩයම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. පාකිස්තානය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Abdullah Shafique සහ නායක Saud Shakeel විසිනුයි.

වර්ෂාව හේතුවෙන් පළමු දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන A කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 180 රැස්කර සිටියා.

  • ශ්‍රී ලංකා කණ්ඩායම – කමිල් මිශාර, නිෂාන් මධුසංඛ, සම්මු අශාන්, සදීර සමරවික්‍රම (නායක), නුවනිඳු ප්‍රනාන්දු, ලසිත් අබේරත්න, සුමින්ද ලක්ෂාන්, හිමේෂ් රාමනායක, මොහොමඩ් ශිරාස්, චාමික ගුණසේකර, දුවිදු තිලකරත්න.
  • පාකිස්තාන කණ්ඩයම – Saud Shakeel (නායක), Abdullah Shafique, Omair Yousuf, Usman Salahuddin, Kamran Ghulam, Agha Salman, Mohammad Haris, Ahmed Safi Abdullah, Naseem Shah, Arshad Iqbal, Khurram Shahzad

පාකිස්තාන A ලකුණු පුවරුව 27ක් වන විට පෙර තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක Saud Shakeel ලකුණු 9ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකර ගැනීමට චාමික ගුණසේකරට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි පෙර තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වූ Omair Yousuf ලකුණු 5ක් ලබා සිටිය දී දවා ගැනීමට හිමේෂ් රාමනායකට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 39ක් වන විටයි.

එතැන් පටන් පිටියේ එක්වූ Abdullah Shafique සහ Kamran Ghulam ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් පාකිස්තාන ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කිරීම නිසාවෙන් දිවා ආහාරයට තරගයට නතර කරන විට ඔවුන් කඩුලු දෙකක් දැවී ලකුණු 99ක් රැස්කර සිටියා.

දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක කළ 6 වැනි පන්දුවාරයේ දී නැවත ක්‍රියාත්මක වූ චාමික ලකුණු 45ක් ලබා සිටි Kamran Ghulam පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ තුන්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 78ක සම්බන්ධතාවට තිත තබමිනුයි.

පාකිස්තාන A ලකුණු පුවරුව 137ක් වන විට නැවතත් ක්‍රියාත්මක වෙමින් ලකුණු 9ක් ලබා සිටි Usman Salahuddin නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට චාමික ගුණසේකරට හැකි වුනා.

පෙර තරගයේ මෙන්ම මෙම තරගය සඳහා ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර සවස් වරුවේ ක්‍රීඩාංගණයට ඇඳ හැලුණු වර්ෂාව නිසාවෙන් පළමු දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන A කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 180ක් රැස්කර සිටියා.

පාකිස්තාන ඉනිම ශක්තිමත් කරමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු Abdullah Shafique පන්දු 156කට මුහුණ දෙමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 89ක් රැස්කළා.

පන්දු යැවීමේ දී චාමික පන්දුවාර 10ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 42ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර හිමේෂ් රාමනායක ලකුණු 36කට එක් කඩුල්ලක් බිඳ හෙලුවා. තරගයේ දෙවැනි දිනය හෙටයි (05).

පළමු දිනය අවසානයේ ලකුණු සටහන,

  • පාකිස්තාන A පළමු ඉනිම – 180/4 (50.1): Abdullah Shafique 89*, Kamran Ghulam 45, චාමික ගුණසේකර 3/42, හිමේෂ් රාමනායක 1/42.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සුදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<