තරුණසේවා රූපවාහිනි සුපර් ලීග් ශූරතාවන් යුධ හමුදාවට

836
Rupavahini National Youth Volleyball

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවත් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත් එක්ව 30 වැනි වතාවටත් සංවිධානය කරන ලද “තරුණසේවා රූපවාහිනී වොලිබෝල් තරඟාවලියේ” සුපර් ලීග් අංශයේ පිරිමි සහ කාන්තා අවසන් තරඟ අද (11) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය. එහිදී ශූරතාවන් ලබා ගන්නට යුධ හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සමත් විය.

අභියෝග ශූරතාවයන් මොරගල්ලට සහ පුත්තලමට

30 වැනි වරටත් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි නාලිකාව, ශ්‍රී ලංකා යෞවන සම්මේලනය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලැබූ “රූපවාහිනි අභියෝග ශූරතා” .

කාන්තා අංශය

කාන්තා අංශය නියෝජනය කරමින් අවසන් සටනට පිවිසියේ නාවික හමුදා කාන්තා කණ්ඩායමට සහ යුධ හමුදා කාන්තා කණ්ඩායමයි.

මුල් වටය ආරම්භයේදීම කසුනි ලක්ෂානිගේ සාර්ථක පන්දු පිරිනැමීම් කිහිපයක් සමඟින් 08-03ක් ලෙස පරතරයක් ලබාගන්නට නාවික සෙබලියන් සමත් විය. පසුගිය මස පැවති මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේදී දණහිස විසන්ධි වීමකට ලක්වූ දිල්කා පෙරේරා නාවික හමුදාව වෙනුවෙන් ක්‍රීඩා කරනු දැකිය හැකිවිය. කෙසේවෙතත් සුපුරුදු පරිදි නාවික කණ්ඩායමේ ප්‍රහාරක අංශය භාරව ක්‍රියා කළේ නායිකා නිලන්තිකා සංජීවනී ය.

යුධ හමුදාව වෙනුවෙන් අප්සරා සෙව්මාලි ජවසම්පන්නව ක්‍රීඩා කළ අතර තිලිණි වාසනාගෙන් ඇයට මනා සහයක් ලැබිණි. එනමුත් අවසානයේදී ප්‍රථම වටය ජයගන්නට සමත්වූයේ 25-20ක් ලෙස නාවික වනිතාවන්ය.

දෙවන වටය තුළදී තිලිණි වාසනා යුධ හමුදා කාන්තා කණ්ඩායම පෙරමුණේ තැබීමෙහිලා ප්‍රමුඛව කටයුතු කළාය. ලකුණු තත්වය 08-06ක් ලෙස යුධ සෙබලියන් ඉදිරියෙන් සිටි අවස්ථාවේ දිල්කා නැවතත් ආබාධයට ලක්වුවාය. ඉන්පසුව නාවික හමුදාවේ සංජීවනීව මනාව නවතාගත් යුධ හමුදා කණ්ඩායමේ චාන්දනී වසන්ති සහ අයේෂා මධුරිකා විසින් 19-25ක් ලෙස එම වටය ජයගැනීමේ මුලික අඩිතාලම යුධ හමුදාව වෙනුවෙන් දමන ලදී.

තෙවන වටය ඇරඹුණේ 06-01ක් ලෙස නාවික හමුදාවට පරතරයක් ලබාදෙමිනි. එනමුත් ලකුණු 10 සීමාව වන විට ලකුණු තත්වය සම කරගන්නට යුධ හමුදා වනිතාවන් සමත් විය. විශ්වාසයකින් තොරව ක්‍රීඩා කරන අයුරක් නාවික කණ්ඩායම අන්තයෙන් දිස්වූ අතර කසුනි ලක්ෂානි සහ සංජීවනී පමණක් ඔවුන් නැවත තරඟය තුළට ගෙන ඒමේ උත්සාහයෙන් පසුවිය. වටය අවසානයේදී යුධ හමුදාවේ චාන්දනී වසන්තිගෙන් එල්ලවූ වේගවත් ප්‍රහාර කිහිපයක් සමඟින් එහි ජය 21-25ක් ලෙස යුධ හමුදා කාන්තාවන් සතු විය.

යුධ හමුදාවේ තිලිණි ශර්මිලා විසින් කළ අලංකාර පන්දු පිරිනැමීම් කිහිපයක් සමඟින් සිව්වැනි වටය ඇරඹිණි. මුලදීම ලකුණු 5ක පරතරයක් හිමිකරගන්නට ඔවුන්ට හැකිවිය. නාවික නායිකා සංජීවනී ප්‍රහාරයන් කිහිපයක් සමඟින් ලකුණු රැස්කළ අතර කසුනි ද වේගවත් පන්දු පිරිනැමීම් සමඟින් ලකුණු රැස්කළාය. එහෙත් අයේෂාගේ අවහිරයන් සහ තිලිණි වාසනාගේ ප්‍රහාරයන් වලින් සවිමත්වු යුධ සෙබලියන් එම වටය 20-25ක් ලෙස ජයගනිමින් සමස්ත තරඟ ජය තමා සතු කරගන්නා ලදී.

ඒ අනුව රූපවාහිනී සුපර් ලීග් වොලිබෝල් ශූරියන් බවට අභිෂේක ලබන්නට යුධ හමුදා කාන්තා කණ්ඩායමට හැකිවිය.

අවසන් ලකුණු තත්වය: 20/25, 25/19, 25/21, 25/20 (3:1) යුධ හමුදාව


පිරිමි අංශය

පිරිමි අංශයෙන් සුපර් ලීග් අවසන් මහා තරඟයේ ක්‍රීඩා කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමත්, ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායමත් ය. තරඟය වට පහක සුපිරි තරඟයක් බවට පත්විය.

ප්‍රථම වටය ආරම්භ කරමින් දෙපිලම වඩාත් තරඟකාරීව ක්‍රීඩා කළ අතර ලකුණු 13 සීමාවෙදීත් දෙපිලම පසුවූයේ සම තත්වයකය. දීප්ති රොමේෂ් සහ සඳුන් විමලසේන, විදුලි බල මණ්ඩලය වෙනුවෙන් කෙතරම් උත්සාහයන් දැරූ නමුත් යුධ හමුදාවේ ජී. මහේෂ්ගේ උපක්‍රමශීලී ක්‍රීඩා ශෛලියෙන් සහ දිලින සුධාරකගේ වේගවත් පහරවල් වල බලයෙන් ලකුණු 22-18ක් ලෙස ඉදිරිය ගැනීමට යුධ හමුදාව සමත් විය. ඊට එක්වූ ලසිඳු මෙත්මාල් සහ සජිත් ලහිරු, මුල් වටයේ යුධ හමුදා ජය ඉක්මන් කළේය. ලකුණු තත්වය 25-20කි.

දෙවන වටය මුලදී ලකුණු තත්වය දිස්වූයේ 08-04ක් ලෙස යුධ හමුදාව ඉදිරියෙන් තබමිනි. ඊට ලසිඳුගේ උස පන්දු ප්‍රහාර කිහිපයක්ද සජිත් ලහිරුගේ කෙටි පන්දු ප්‍රහාර කිහිපයක්ද එක්වීමෙන් අනතුරුව පරතරය ලකුණු 4ක් දක්වා වැඩිකර ගන්නට යුධ හමුදාවට හැකිවිය (20-16). පසුව තමා සතු පන්දු පිරිනැමීමේ දක්ෂතා ද පෙන්වමින් සජිත් ලහිරු, ජයග්‍රාහී සීමාවට තම කණ්ඩායම කැඳවාගෙන ගියේය. ලකුණු තත්වය 25-17කි.

තෙවන වටයට හොඳ ආරම්භයක් ගනිමින් ලකුණු තුනක පරතරයක් තබාගන්නට විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන් සමත් විය. එනමුත් ලකුණු 08 සීමාවේදී ඔවුන් හඹා ආ යුධ හමුදාව ලකුණු සම කළේය. විදුලි බල මණ්ඩලය වෙනුවෙන් දීප්ති රොමේෂ් නායකත්වයේ වගකීම් කරට ගෙන ක්‍රීඩා කළ අතර ඊට ප්‍රතිවාදී නායක දිලින සුධාරකගෙන් දැවැන්ත පහරවල් එල්ල විය. යුධ හමුදාවේ කෙටි පන්දු ප්‍රහාරක සජිත් ලහිරුව නවත්වා ගැනීම විදුලි බලයට මඳක් අපහසු බවක් දිස්විය. එනමුත් එම වටයේ මැද භාගයේ සිට විදුලි වේගයෙන් පහරවල් එල්ල කරන්නට වූ දීප්ති සහ තරිඳු ලක්මාල්, 21-25ක් ලෙස විදුලි බල මණ්ඩලයට එහි ජය ගෙන එමින් මීළඟ වටයේ දොරගුළු විවර කර ගත්තේය.

සිව්වන වටයේදී තරඟය දෙපිල අතරම දෝලනය විය. වරෙක 08-05ක් වශයෙන් ඉදිරියෙන් සිටි යුධ හමුදාව, 16-15ක් ලෙස අභිබවා යන්නට විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන් සමත් විය. අනතුරුව ඒ පරතරය වෙනුවෙන් දෙපිලම තරඟකාරීව ක්‍රීඩා කරනු පෙනිණි. දීප්ති සහ දිලින දෙපිල වෙනුවෙන් පහරට පහර එල්ල කළේය. පසුව ලකුණු 21-18ක් ලෙස යුධ හමුදාව පෙරමුණ ගත්තද ඔවුන්ට දැඩි තරඟයක් දෙමින් 22-22ක් ලෙස සම මට්ටමට ඒමට විදුලි බල ක්‍රීඩකයන් සමත් විය. එතැන් සිට ලකුණින් ලකුණ ඇදී ගිය තරඟ වටය අවසන් වුයේ 27-25ක් ලෙස විදුලි බල මණ්ඩලයට ජය ගෙන එමින් තීරණාත්මක පස්වන වටයට වේදිකාව තනා දෙමිනි.

දෙපිලම වට දෙක බැගින් ජයග්‍රහණය කර තිබු පසුබිමකදී පස්වන වටයත් ඇරඹිණි. ඉතාමත් උණුසුම් අයුරින් ඇරඹි තරඟ වටයේ මුලින්ම පෙරමුණ ගන්නට සමත් වූයේ යුධ හමුදාවයි. ඒ 06-03ක් ලෙසිනි. තරඟය කිසිසේත්ම අත් නොහැරි විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන් 10-10ක් ලෙස සම මට්ටමකට පැමිණෙන්නට සමත් විය. පසුව ක්‍රියාත්මක වූ යුධ හමුදාවේ වසන්ත ලක්මාල් ප්‍රමුඛ අවහිර බලකායවිදුලි බල මණ්ඩලය ලකුණු 10 මතම සිරකර තබාගත් අතර ඉන් ඵල ලැබූ යුධ හමුදා ප්‍රහාරකයන් ලකුණු පහකින් ඉදිරියට ගොස් 15-10ක් ලෙස පස්වන වටයත් සමස්ත තරඟයත් ජයගත්තේය.

වසරේ වොලිබෝල් වසන්තයට උත්කර්ෂවත් නිමාවක් ගෙන එමින්, රූපවාහිනී සුපර් ලීග් වොලිබෝල් ශූරතාවලියේ පිරිමි ශූරතාවය එලෙසින් යුධ හමුදාව අතට පත්විය.

අවසන් ලකුණු තත්වය: 25-20, 25-17, 21-25, 25-27, 15-10

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට