Ben Stokesගේ 2023 IPL ගමන අවසන් වන ලකුණු

අළුබඳුන තරගාවලිය 2023

921

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ආබාධයකට ලක්ව සිටින එංගලන්ත නායක Ben Stokes හට අළුබඳුන තරගාවලියේ දී පන්දු යැවීම තරමක් අභියෝගාත්මක වනු ඇතැයි වාර්තා වෙනවා.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය ජුනි 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එයට පෙර සිය භූමිකාව පිළිබඳ Ben Stokes කියා තිබුණේ, කණ්ඩායමේ සිව්වැනි පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට තමන් සම්පූර්ණ සුවය ලබා සිටිය යුතු බවයි.

පසුගිය කාලසීමාවේ දී අධික කාර්ය බහුලත්වයත් සමඟ ඇති වූ පාදයේ ආබාධ නිසා ඔහුගේ පන්දු යැවීමට තරමක් බාධා එල්ල වී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 16.25කට චෙන්නායි කණ්ඩායමට එක් වූ Ben Stokes තරගාවලියේ ක්‍රීඩා කළේ තරග දෙකක් පමණක් වන අතර ඔහුගේ පන්දු යැවීම එක් පන්දු වාරයකට සීමා වුනා.

Delhi Capitals සමඟ පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගයෙන් පසු Stokes නැවතත් සිය මව් රට බලා පිටත් වීමට නියමිත අතර ඔහු ප්‍රකාශ කර තිබුණේ නැවත පැමිණීමට පෙර සිය ශරීරයට යම් විවේකයක් ලබා දිය යුතු බවයි.

අළුබඳුන තරගාවලියට පෙර එයට සූදානම් වීම සඳහා එංගලන්තය ජුනි 01 වැනිදා අයර්ලන්තයට සමඟ තරගයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

Stokes අප්‍රේල් 03 වැනිදාට පසුව තවමත් කිසිදු තරගයක් ක්‍රීඩා කර නොමැති අතර පාදයේ ඇති වූ ආබාධය නිසා ඔහුට ඉතිරි තරග ක්‍රීඩා කරන්නට හැකි වුනේ නැහැ.

නමුත් ඔහු පසුගිය සතියේ සිට තේරීම් සඳහා ඇතුළත් වූ නමුත් මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, Devon Conway සහ Moeen Ali දස්කම් අතර සිටින නිසා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ නැහැ.

තරගාවලියේ දිල්ලි කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයට Stokesගේ සහභාගීත්වය ගැන අදහස් දක්වමින් CSK පුහුණුකරු Stephen Fleming ප්‍රකාශ කළේ,

“ඔහුගේ (Stokes) පන්දු යැවීමේ හැකියාව දැන් තියෙන්නේ ඉතා අභියෝගාත්මක තැනක. ඔහු අපිට ඉන්න හොඳ පිතිකරණ ආදේශකයක්. නමුත් Moeen Ali හොඳින් පන්දු යවමිනුයි සිටින්නේ.  ඒ නිසා අපි කණ්ඩායමේ සමබරතාව ගැනයි සැලකිලිමත් වෙන්නේ.

අනික අපි ඉන්නේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනයි. ඒ නිසා අපි එක් තරගයක් පරාජය වුනා කියලා ක්‍රීඩකයින් අයින් කරන්නේ නැහැ, ඒක අපේ විදිය නෙවෙයි. අපි දිල්ලියට එරෙහි තරගය හොඳ කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්න සූදානමින් සිටින්නේ.”

අයර්ලන්ත ටෙස්ට් තරගයට සහභාගී වන සංචිතය තෝරා ගැනීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව ලබන සතියේ රැස් වීමට නියමිත අතර ආබාධයක් නිසා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක James Anderson ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

ESPN CRICINFO ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<