විදෙස් ක්‍රීඩකයන්‍ට මෙරට පාපන්දු දොර ඇරේ

114

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට විදෙස් ක්‍රීඩකයන්ට ආරාධනා කර සිටියා. ඒ සඳහා සුදුසුකම් සහිත ක්‍රීඩකයන්ට තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා සහභාගි විය හැකි බව පසුගිය දා පැවති මැකාවු තරගයට පෙර මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු පැවසීය.

මැකාවු ක්‍රීඩකයන්ගෙන් අමුතුම විරෝධතාවක්

2023 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට …….

දිගු කාලීන එකඟතාවයන් සඳහා මෙරට ඇති අසීරුතාව මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය අඩු වීමට විශාල ලෙස බලපාන සාධකයකි. ශ්‍රී ලාංකික දෙමාපියන් දෙදෙනෙකුට දාව ජර්මනියේ දී උපන් 24 හැවිරිදි වසීම් රසීක් මේ වන විට ජර්මනියේ පාපන්දු සමාජයක් වන Rot-Weiß Erfurt කණ්ඩායමේ ක්‍රීඩා කරන අතර ඔහුගේ වටිනාකම යුරෝ 175000ක් ලෙස සටහන්ව තිබේ. ඔහු මේ වන විට මෙරට ක්‍රීඩා කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

ඔහුගේ සහෝදරයන් වන 22 හැවිරිදි මොහොමඩ් රසීක් හා 20 හැවිරිදි මුශාකීර් රසීක් මේ වන විට BFC Dynamo II හා Turkiyemspor Berlin යන කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින් සිටී. ඔවුන්ට ද මෙරට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතී.

2010 වසරේ චෙල්සි කණ්ඩායම නියෝජනය කරමින් ශූරයින්ගේ ලීග් තරගාවලියට සහභාගි වූ නික්කි අහමඩ්ට ද මෙරට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින අතර 28 හැවිරිදි ඔහු මේ වන විට මෙට්‍රොපොලිටන් පොලිස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටී.

මෑතකාලීනව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඇතුළත් වූ මාවින් හැමිල්ටන් ද විදෙස් ක්‍රීඩකයෙක් වන අතර ඔහු නුදුරේ දී ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. මේ වන විට මෙරට රැඳී සිටින ඔහු තම ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටී.

“අඩුපාඩු සියල්ල හදාගන්නවා” – නිසාම් අලී

2023 FIFA ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ………….

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන ඕනෑම ක්‍රීඩකයෙකුට තෝරාගැනීමේ තරග සඳහා පැමිණෙන ලෙසයි.

“මාවින් හැමිල්ටන් හා අපි අතර හොඳ සන්නිවේදනයක් තිබුණා. අපි ඔහුට කියා සිටියා කටාර් වල අපේ පුහුණු කණ්ඩායම සමඟින් එක්වෙන්න කියලා. ඔහු පුහුණුවීම් වලට ආවා. ඒ වගේම ඔහු කටාර් මිලිටරි සමඟ පැවති සුහද තරගයටත් ක්‍රීඩා කළා. ඊට පස්සේ ඔහු නැවත එක්සත් රාජධානියට ගියා. දැන් ඔහු නැවතත් ඇවිල්ලා ඉන්නවා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ගොඩක් උනන්දුවෙන් ඉන්නවා. අපි දැකලා තියනවා ඔහුගේ දක්ෂතාවය. අපි ගොඩක් සතුටු වෙනවා ඔහු අපිත් එක්ක ඉන්න එක ගැන.”

“වසීම් රසීක් ද්විත්ව පුරවැසිභාවය සඳහා අයැදුම් කරලා තියනවා. අපි බලාගෙන ඉන්නවා. ඔහුගේ සහෝදරයන්ටත් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ක්‍රීඩා කරන්න පුළුවන්. ඔවුන් ඇවිල්ලා පරීක්ෂණ තරගවලට සහභාගි වෙලා බලන්න ඕන ඔවුන් අනිකුත් ක්‍රීඩකයන් එක්ක හොඳින් සන්නිවේදනය කරනවා ද කියලා. කණ්ඩායමේ අනික් ක්‍රීඩකයන් එක්ක ක්‍රීඩා කරද්දී ඔවුන් කෙතරම් දස්කම් දක්වනවා ද කියලා බලන්න අවශ්‍යයි. ”

“චෙල්සි කණ්ඩායමේ නික්කි අහමඩ් මෙරට ක්‍රීඩා කරන්න තවමත් සූදානම් නෑ.”

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන නිසාම් පකීර් අලී මහතාට මෙම විදෙස් ක්‍රීඩකයන් පිළිබඳව ඇත්තේ වෙනත් අදහසක්. එම ක්‍රීඩකයන්ගේ කැපවීම පිළිබඳව පරීක්ෂා කළ යුතු බව ඔහු කියා සිටියා.

“හැමිල්ටන් ඔහුගේ ගමන් බලපත්‍රයේ ගැටලුවක් නිසා ඇවිල්ලා ඉද්දී මගෙන් ඇහුවා ඔහුට ඇවිල්ලා පුහුණු සැසියකට සහභාගි වෙන්න පුළුවන් ද කියලා. මේ වගේ උනන්දුවක් තමයි අපි ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.”

“රසීක් SAFF වලට කලින් පුහුණුවීම් වලට ආවා. ඔහු කණ්ඩායමේ කළමනාකරු සමඟ කතා කළා. ඔහු කතාබහෙන් දැඩි උනන්දුවක් පෙන්නුවා. ඔහු අපිත් එක්ක පුහුණු සැසි කීපයකට සහභාගි වුනා. ඒත් ඔහුට ඒක දිගටම කරන්න බැරි වුනා. විදෙස් ක්‍රීඩකයන්ට උනන්දුවක් තියනවා නම් ඔවුන් සුදුසු ලෙස සම්මේලනයට කතා කරලා අවශ්‍ය පියවර ගන්න ඕන.”

නවකයන්ගෙන් යන්න පුළුවන් උපරිම දුර යනවා – පකීර් අලී

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා…….

ශ්‍රී ලංකා කණ්ඩායමේ strike ක්‍රීඩකයෙකුගේ අඩුපාඩුව පිළිබඳව ද පකීර් අලී මහතා අදහස් දක්වා සිටියා. ශ්‍රී ලංකාවට මේ වන විට පළපුරුදු strike ක්‍රීඩකයෙක් නොමැති අතර එවැනි ක්‍රීඩකයෙකු නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුව නැත.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ strike ක්‍රීඩකයෙකු නැති එක ලොකු අඩුපාඩුවක්. අපිට පසුගිය කාලයේ ඉතාමත් දක්ෂ strike ක්‍රීඩකයන් හිටියා. අපිට දේශීය strike ක්‍රීඩකයෙකු නෑ. මෙරට සමාජ කණ්ඩායම් වල strike ක්‍රීඩකයන් බැලුවොත් ඔවුන් ගොඩක් විදෙස් ක්‍රීඩකයන්”

“අපි රඳා පවතින්නේ ඔවුන් මත නම් මම කොහොමද ක්‍රීඩකයන් හදන්නේ. අපි විදෙස් ක්‍රීඩකයන්ගෙන් යැපෙනවා ද? අපි දේශීය ක්‍රීඩකයන් දියුණු කරන්න අවශ්‍යයි. විදෙස් ක්‍රීඩකයන්ට සම්බන්ධ වෙන්න අවශ්‍යයි නම් ඒ සඳහා අවස්ථාව තියනවා. නමුත් ඔවුන් 100%ක්ම අපි එක්ක ඉන්න ඕන. ඔවුන් ඒක හරියටම ඉටු කරාවි ද? ඒක ප්‍රශ්නයක්. පුහුණුකරුවෙක් විදිහට මට අවදානමක් ගන්න බෑ. මම ඔවුන්ව පුහුණු කරන්න ඕන. මේක තරුණ කණ්ඩායමක්. අනාගතය වෙනුවෙන් හදන කණ්ඩායමක්. ඒකට මට මුළු කණ්ඩායමම මාත් එක්ක ඉන්න ඕන.”

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ශූරයින්ගේ ලීග් තරගාවලිය සඳහා වයස 18-20 අතර ක්‍රීඩකයන් හඳුන්වා දීමට තීරණයක් ගත් අතර එහි දී දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම සඳහා තෝරාගැනීමට නියමිතය. එම තීරණය පාපන්දු ක්‍රීඩාවේ අනාගතය සඳහා වැදගත් පියවරක් වනු ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<