ජාතික මහා ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කට අධික සංඛ්‍යාවක්

328

44 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් හෙට (11) සිට මෙම මස 14 වන දින දක්වා පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර මෙම තරග ඉසව් අවසානයත් සමඟ මෙම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ ද සමාප්තිය සනිටුහන් වනු ඇත.

දක්ෂතම ක්‍රීඩකයා කුරුණෑගලෙන්; ක්‍රීඩිකාව කොළඹින්

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ වලල A. රත්නායක යන විදුහලට ශූරතා ගෙන දෙමින් 34…

මෙහි සමාරම්භක උළෙල හෙට ප.ව. 2.30ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත අතර මෙය පළාත් 9ම නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සහ මෙම තරගාවලිය සඳහා සිය දායකත්වය ලබා දෙන නිලධාරීන් සහභාගී වන පෙරට්ටුවකින් ද සමන්විත වනු ඇත.

මෙම වසරේ මැයි මාසයේ දී ආරම්භ වූ 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව් 33කින් සමන්විත වූ අතර මාස 6ක් වැනි දීර්ඝ කාලයක් පුරාවට පැවැත්වීමෙන් අනතුරුව මෙම මලල ක්‍රීඩා ඉසව් අවසානයේ දී සම්පූර්ණ ක්‍රීඩා උළෙලේ ද අවසානය සනිටුහන් වේ. වාර්ෂිකව පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මෙම මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ජාතික තලයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පළාත් නියෝජනය කරමින් තරග බිමට පිවිසෙන අතර ඒ අනුව සෑම වසරකම පාහේ මෙම වසරේ දී ද මෙය ඉතා තරගකාරී මුහුණුවරක් ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

තරගාවලියේ සියලුම තරග ඉසව් අවසන් මහා තරග ලෙස මෙම මස 12 වන දින සිට දින 3ක් පුරාවට පැවැත්වෙන අතර නවීකරණය කරන ලද සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දායකත්වය හරහා මෙම වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක තිබෙනු ඇතැයි ද තවදුරටත් අපේක්‍ෂා කෙරේ. මෙම වසරේ තරගාවලිය සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1543ක් සහභාගී වීමට නියමිතව ඇති අතර නිලධාරීන් 443න් දෙනෙක් ක්‍රීඩා ඉසව්වල විනිශ්චය කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙනු ඇත.

ආසියානු ශූරතාවලියේ පිරිමි 4x400m තරග ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වූ කේ. කසුන් කල්හාර හට සහ පසුගිය දා අවසන් වූ ආසියානු කුසලාන කාන්තා දැල්පන්දු තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ ජී. එල්. ප්‍රියංගිකා හට මෙහි ආරම්භක උළෙලේ දී ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවය මෙවර හිමිවී ඇත.  

පැරා ක්‍රීඩා උළෙලේ තනි ඉසව්වක පදක්කම් ත්‍රිත්වයක් ලංකාවට

3 වන ආසියානු පැරා ක්‍රීඩා මලල උළෙලෙහි දෙවන දිනය අද (09) ක්‍රියාත්මක විය. අද දිනයේත් …

පසුගිය වසරේ දී පැවති 43 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එහි දී නව ජාතික වාර්තාවන් 2ක් බිහිවනු දැකගත හැකි විය. යාපනයේ රිටි පැනීමේ රැජිණ වන අනීතා ජෙගතීශ්වරන් ඉන් එක් වාර්තාවකට හිමිකම් කියූ අතර අනෙක් වාර්තාව පිහිටුවනු ලැබුවේ කාන්තා තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගී වූ විදූෂා ලක්ෂානි විසිනි.

පසුගිය වසරේ තරගාවලිය අවසානයේ රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 06ක් සමඟින් සමස්ත පදක්කම් 32ක් හිමිකරගත් බස්නාහිර පළාත් කණ්ඩායම පිරිමි තරග අංශයේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර මධ්‍යම සහ දකුණු පළාත් කණ්ඩායම් පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ. එහි කාන්තා අංශයේ ශූරතාවය රන් පදක්කම් 07ක්, රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමඟින් සමස්ත පදක්කම් 14ක් දිනා ගත් සත්කාරක දකුණු පළාත් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් වූ අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් දිනා ගනු ලැබුවේ බස්නාහිර සහ සබරගමු පළාත් කණ්ඩායම් විසිනි.

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය, ThePapare.com අපි, ජාතික මහා ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු පොළොන්නරුවේ සිට ඔබ වෙත ගෙනඒමට සූදානමෙන් පසුවෙමු. ඒ අනුව 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සියලුම තොරතුරු ඔබට www.thepapare.com/athletics වෙබ් අඩවියෙන් ලබාගත හැක.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<