පැරා ක්‍රීඩා උළෙලේ තනි ඉසව්වක පදක්කම් ත්‍රිත්වයක් ලංකාවට

186

3 වන ආසියානු පැරා ක්‍රීඩා මලල උළෙලෙහි දෙවන දිනය අද (09) ක්‍රියාත්මක විය. අද දිනයේත් තරග ඉසව් කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ඒ අතරින් එක ඉසව්වකින් පදක්කම් ත්‍රිත්වයක්ම දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු සමත්වීම විශේෂත්වයකි.

මීටර් 100 පිරිමි T 42/63 කාණ්ඩය වෙනුවෙන් සහභාගි වූ අමිල ප්‍රසාන් ඉසව්වේ රන් පදක්කම් ද, ඉන්දික චූලදාස ඉසව්වේ රිදී පදක්කම ද, සුරංග බණ්ඩාර ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වූහ.

උදෑසන කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉන්දුමතී කරුණාතිලක මීටර් 200 කාන්තා T45/46/47 කාණ්ඩයේ ඉසව්වට සහභාගී වූ අතර එහි දී ඇයට ලබාගත හැකි වූයේ 5 වන ස්ථානයයි. ඇය වාර්තා කළ කාලය තත්පර 27.96කි.

පැරා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

3 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය අද (08) ආරම්භ විය…

මීටර් 200 පිරිමි T45/46/47 කාණ්ඩයේ ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සහභාගී වූ අතර එහි දී ප්‍රදීප් සෝමසිරි තත්පර 23.12ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ 5 වන ස්ථානය දිනා ගත්තේය. සමන් මධුරංග තත්පර 23.17ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ 6 වන ස්ථානය දිනා ගත්තේය.

මීටර් 200 පිරිමි T44/62/64 කාණ්ඩයේ ඉසව්ව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අජිත් ප්‍රසන්නට ලබාගත හැකි වූයේ ඉසව්වේ 6 වන ස්ථානයයි. එහි දී ඔහු වාර්තා කළ කාලය තත්පර 24.99කි.   

මේ අතර මීටර් 100 පිරිමි T45/46 කාණ්ඩය වෙනුවෙන් සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි තත්පර 11.74කින් ඉසව්ව අවසන් කළ අතර අවසන් තරගය සඳහා එම කාලය ප්‍රමාණවත් නොවීය.

පිරිමි F45 කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ සම්පත් හෙට්ටිආරච්චි ද අවසන් වටය වෙනුවෙන් සහභාගී වීමට අපොහොසත් විය.

දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟින් පදක්කම් සටහනේ 16 වන ස්ථානයේ පසුවෙයි.

හෙට (10) තරගාවලියේ තුන්වැනි දිනයයි. හෙට දිනයේත් සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<