“අපේ අරමුණ ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබාගන්න එක” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලිය 2021

218

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම තේරී පත්වනු ඇතැයි තේරීම් කමිටු ප්‍රධානියා වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. 

එහි දී ඔහු පවසා සිටියේ බංග්ලාදේශ තරගාවලිය සහ එංගලන්ත තරගාවලිය සඳහා ඔවුන් තෝරාගත් කණ්ඩායම එම අභියෝගයට මුහුණ දීම සඳහා වඩාත් සුදුසුම කණ්ඩායම වන බවයි. 

“අපේ ප්‍රධාන පුහුණුකරු වන Mickey Arthurට සැලැස්මක් තියනවා. අපි ඒකට අනුව තමයි තරගාවලිවලට සැලසුම් හදන්නේ. ඒක ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායමක් හදන එක සහ තරගාවලියට සුදුසුකම් ලබා ගන්න එක. අපිට තවත් තරග 18ක් තියනවා. අපි තරග 11ක් ජයග්‍රහණය කරන්න ඕනේ ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගන්න. මේ තරගවල සමහර තරග ශ්‍රී ලංකාවේ තියනවා. අපි මූලිකවම අවධානය යොමු කරන්නේ අපේ ඉලක්කය ජයග්‍රහණය කරන්න.” 

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ Daily FT සමඟින් එක්වූ සාකච්ඡාවක දීයි. එහි දී ඔහු පවසා සිටියේ වත්මන් කණ්ඩායම තරුණ කණ්ඩායමක් වුවත් ඔවුන්ට අවශ්‍ය තරම් ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති බවයි.

“වත්මන් එක්දින කණ්ඩායම ගත්තම ඔවුන්ට අත්දැකීම් තියනවා. බංග්ලාදේශ තරගාවලියේ මුල් තරග දෙක තුළ අපි පැතුම් නිස්සංක සහ අශේන් බණ්ඩාර විතරයි නවක ක්‍රීඩකයන් විදිහට යොදාගත්තේ. අනික් සියලු ක්‍රීඩකයන් 2015 ඉඳන් කණ්ඩායමට ක්‍රීඩා කරන අය. කණ්ඩායමට අත්දැකීම් තියනවා. ඔවුන් දැන් වගකීමක් අරන් ක්‍රීඩා කරන්න ඕනේ. තවත් වසර තුනක් යද්දී ඔවුන්ට උපරිමයෙන් අත්දැකීම් තියේවි” වික්‍රමසිංහ මහතා එහි දී පැහැදිලි කර සිටියා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලියේ පළමු තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුවද තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ නම් තරගාවලිය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබූ බවයි. 

“අපි බංග්ලාදේශ තරගාවලියේ සාරාංශය ගත්තොත් මුල් තරග දෙකේ කාසියේ වාසිය දිනා ගත්තා නම් අපිට තරගාවලිය ජයග්‍රහණය කරන්න තිබුණා. බංග්ලාදේශ කණ්ඩායම අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හිටියත් ඔවුන්ට තුන්වැනි තරගයේ දී ලකුණු 200 පසුකරන්න බැරි වුනා. 

අපි ධනාත්මකව හිතන්න ඕනේ. අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන් දැන් වගකීම් ගන්න පුරුදු වෙනවා. මම අවසන් එක්දින තරගයට කලින් කණ්ඩායම එක්ක කතා කරාම ඔවුන් කිව්වේ කාසියේ වාසිය දිනා ගත්තොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මම දකිනවා ක්‍රීඩකයන් ඔවුන්ගේ වගකීම් අඳුර ගනිමින් ඉන්නවා. මට විශ්වාසයක් තියනවා ඉදිරි කාලය තුළ අපිට ශක්තිමත් කණ්ඩායමක් ඉඳීවි කියලා.” 

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය බංග්ලාදේශ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරා වෙත පැවරුණු අතර එංගලන්ත තරගාවලිය සඳහා ද ඔහු නායකත්වය දැරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියේ එංගලන්ත තරගාවලියට පසු ඔහුගේ නායකත්වය පිළිබඳව ඇගයීමක් සිදු කිරීමට නියමිත බවයි.

“අපි කුසල්ට තරගාවලි දෙකක් දුන්නා. බංග්ලාදේශ තරගාවලිය සහ එංගලන්ත තරගාවලිය. අපි ඔහුට කිව්වේ ඒ තරගාවලි දෙක තුල ඔහුගේ දක්ශතාවය අපිට පෙන්වන්න කියලා. එංගලන්ත තරගාවලිය අවසන් වුනාට පස්සේ අපි ඔහු ගැන ඇගයීමක් කරනවා. ඔහුට නායකයෙක් විදිහට හදාගන්න දේවල් තියනවා. එංගලන්ත තරගාවලිය තුල අපි ඔහු ගැන සමීපව අධ්‍යනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සේ තමයි ඒ ගැන අවසන් තීරණය ගන්නේ.” 

එංගලන්ත තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (08) නිල වශයෙන් නිවේදනය කෙරුණා. එයට නවක දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ඇතුළත් වීම විශේෂත්වයක්. ප්‍රවීන් කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ඔහුට එංගලන්ත තණතීරු පිළිබඳව අවබෝධයක් ලබා දීම සඳහා එම තීරණය ගත් බවයි.

“අපි ප්‍රවීන්ගේ දේශීය තරග ඉතිහාසය ගත්තම ඔහු විස්සයි විස්ස තරගවල දී කැපී පෙනෙන දස්කම් දක්වලා තියනවා. ඒ නිසා ඔහු ටෙස්ට් ක්‍රීඩකයෙක් විදිහට නම් කරන එක ඉක්මන් වැඩියි. අපි ඔහුව කණ්ඩායමට එක් කළේ ඔහුට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දෙන්න. ඔහුව කණ්ඩායමට එක් කළත් නැතත් ඔහුට එංගලන්ත තණතීරුවල පන්දු යවන්න ඉගෙන ගන්න පුළුවන්. අපි ඔහුට ඒ අවස්ථාව ලබා දෙනවා. අවශ්‍ය වුනොත් ඔහුව කණ්ඩායමට එක් කරනවා. ඒත් මේකේ මූලික අරමුණ ඔහුට ඉගෙන ගන්න අවස්ථාවක් දෙන එක” වික්‍රමසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<