පළමු ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලිය ඕමානයේ දී

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

5129

හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත පළමු ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (Legends League Cricket) ඕමානයේ දී පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් තහවුරු වී තිබෙනවා.

ඉන්දියාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ එංගලන්තය වැනි ප්‍රබල ක්‍රිකට් රටවල් නියෝජනය කරන ලද, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතිව මේ තරගාවලිය පැවැත්වීමට එහි සංවිධායකයින් කටයුතු සංවිධානය කරමින් සිටිනවා.

කණ්ඩායම් තුනක සහභාගීත්වය ඇතිව පැවැත්වීමට දැනට ඔවුන් කටයුතු සූදානම් කරමින් සිටින අතර ඉන්දියා, ආසියා සහ අනෙක් කණ්ඩායම්වල හිටපු ප්‍රවීණ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් එම කණ්ඩායම් තුන නිර්මාණය වෙනු ඇත.

තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂක ලෙස ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු Ravi Shastri මහතා පත් කර තිබෙනවා. ඔහු පසුගිය දා නිල වශයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා සමුදුන්නේ, ඔහුගේ නිල ගිවිසුම් කාලය අවසන් වුනු පසුබිමකයි.

එම තරගාවලියේ තරග සියල්ලම ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, නිමා වූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක්ම එම ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පැවැත්වුනා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<